අනුර කුමාර දිසානායක Anura Kumara Dissanayake

දිට්වා ආපදාවට වෙන් කළ මුදල්: භාණ්ඩාගාරයේ දිලිසෙන සියල්ල ණයවලින් තොර නොවේ

"

ඒ වෙනුවන් [දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීමට‍] අපි සතයක් ණයට ගත්තේ නැහැ. මුදල් මුද්‍රණය කිරීමක් කළේ නැහැ ඒ වෙනුවන්. අපේ භාන්ඩාගාරයේ account එකේ තිබුණා කෝටි 120,000ක්. ඒකෙන් කෝටි 50,000ක් අපි මේකට වෙන් කළා.

අනුර කුමාර දිසානායකගේ යූ ටියුබ් නාලිකාව | පෙබරවාරි 11, 2026

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් රට යළි ගොඩනැගීම සඳහා රජය විසින් රුපියල් බිලියන 500ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එකිනෙකට සම්බන්ධ ප්‍රකාශ දෙකක් සිදු කරන ලදි: එනම්, (1) එම මුදල භාණ්ඩාගාරයේ දැනට පවතින රුපියල් බිලියන 1,200ක (හෝ රුපියල් ට්‍රිලියන 1.2ක) [මුදල්] ශේෂයකින් ලබාගත් බවත්, (2) එය ණය වශයෙන් හෝ මුදල් මුද්‍රණය කිරීම මගින් හෝ ලබාගත්තක් නොවන බවත් ඔහු පැවසීය.

මෙම කරුණු දෙක ඇගයීමට ලක් කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා මෙන්ම 2026 අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ද පරිශීලනය කරන ලද අතර, එහිදී විශේෂයෙන් 2025 වර්ෂය සඳහා පවතින නවතම දත්ත කෙරෙහි අවධානය යොමු කරන ලදි.

භාණ්ඩාගාරයේ ශේෂය පිළිබඳව: 2025 අගෝස්තු වන විට භාණ්ඩාගාරය සතුව රුපියල් බිලියන 1,200 ක පමණ මුදල් ශේෂයක් තිබූ බව ඉහත මූලාශ්‍ර සනාථ කරයි. අමතර ණය ලබා ගැනීමකින් තොරව, පවතින අරමුදල් පමණක් භාවිතයෙන් 2026 වසරේ දිට්වා ආශ්‍රිත වියදම් මූල්‍යනය කිරීමට එම අවස්ථාවේදී රජයට හැකියාව තිබූ බව මෙය හඟවයි. මෙම පටු අර්ථයෙන් ගත් කල, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කරුණුමය වශයෙන් නිවැරදි වේ.

ණය ලබා නොගත්” බවට සඳහන් කළ කරුණ පිළිබඳව: මෙම කරුණ හේතු දෙකක් මත සාවද්‍ය වේ.

පළමුව, මෙම ප්‍රතිපාදන සඳහා ණය මුදල් සම්බන්ධ වී ඇත — එනම්, මීට පෙර ලබා ලත් ණය මුදල් ඊට සම්බන්ධ වේ. භාණ්ඩාගාරයේ මුදල් ශේෂය ගොඩනැගී ඇත්තේ වියදම් පියවා ගැනීමෙන් පසු ඉතිරි වූ අතිරික්ත ආදායමෙන් නොව, පෙර වසරවල වැඩිපුර ලබා ගත් ණය මුදල් මගිනි. අංක 1 වගුවෙහි දැක්වෙන පරිදි, ලබා ගත් දළ ණය ප්‍රමාණය 2022 වසරේදී රුපියල් බිලියන 605 කින් ද, 2023 දී රුපියල් බිලියන 642 කින් ද, 2024 දී රුපියල් බිලියන 131 කින් ද  ණය ආපසු ගෙවීම් සහ අයවැය හිඟය යන දෙකෙහිම එකතුව ඉක්මවා ගොස් ඇති අතර 2025 අගෝස්තු වන විට එය රුපියල් බිලියන 405ක් විය. මෙම අතිරික්ත ණය භාණ්ඩාගාරයේ මුදල් ශේෂයන් ලෙස ගොඩනැඟිනි. එබැවින්, මෙම ප්‍රතිපාදන වෙන් කරන අවස්ථාවේදී අලුතින් ණය නොගත්ත ද, දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීමසඳහා භාවිතා කළ අරමුදල් එකතු වී ඇත්තේ ණය මුදල් මගිනි.

දෙවනුව, මෙම ස්වාරක්ෂක අරමුදල් මේ අවස්ථාවේදී වැය කිරීම අනාගත ණය අවශ්‍යතා කෙරෙහි බලපායි. රජයේ 2026 ණය සැලැස්ම මගින්, කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා අලුතින් ණය නොගෙන ආපසු ගෙවීම සඳහා මෙම මුදල් සංචිතයෙන්ම රුපියල් බිලියන 500ක් දැනටමත් වෙන් කර තිබිණි. අලුතින් ණය නොගෙන ඉදිරියේදී ණය ආපසු ගෙවීම් අවම කර ගැනීමට මෙම මුදල් සංචිතය භාවිතා කළ හැකිව තිබූ බව මින් පෙනී යයි. ඒ වෙනුවට එම සංචිතය දිට්වා කුණටුවෙන් පසු රට ගොඩනැගීම සඳහා භාවිතා කිරීම මගින් එලෙස ණය ආපසු ගෙවීමට ඇති හැකියාව අඩු වේ. වෙනත් වචනවලින් කිවහොත්, මෙම අවස්ථාවේදී සංචිතයෙන් වැඩිපුර වියදම් කරන තරමට, ඉදිරියේදී කල් පිරෙන ණය පියවීම සඳහා අලුතින් ණය ගැනීමට සිදුවනු ඇත.

සාරාංශයක් ලෙස, ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය එහි පටු අර්ථය සැලකූ විට නිවැරදි වේ: එනම්, භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් මුදල් සංචිතයක් තිබුණු බැවින් ප්‍රතිපාදන වෙන් කරන අවස්ථාවේදී රජයට අලුතින් ණය ගැනීමට අවශ්‍ය නොවීය. එහෙත්, මෙම ප්‍රතිපාදන වෙන් කිරීමේදී ඊට ණය ගැනීමක් සම්බන්ධ නොවන බවට එහි ඇතුළත් පුළුල් අර්ථය නිවැරදි නොවේ. වැය කරන ලද මුදල් සංචිතය ගොඩනගා ඇත්තේ ද මීට පෙර ලබා ගත් ණය මුදල් මගින් වන අතර, එය ණය පියවීමට යොදා ගැනීම වෙනුවට මෙලෙස වැය කිරීම හේතුවෙන් ඉදිරියේදී ණය ගැනීමට සිදු වේ.

එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි තීරණය පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ලබාගත හැකි නවතම තොරතුරු මතය. සෑම කරුණු පරීක්ෂාවකදීම මෙන්, නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk මෙම ඇගයීම නැවත සමාලෝචනය කරනු ඇත.

අතිරේක සටහන: අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පසු, රජය විසින් විශේෂයෙන්ම දිට්වා කුණාටුවෙන් පසු රට ගොඩනැගීමේ අරමුණින් ණය මුදල් ද ලබාගෙන ඇත. ඉන්දීය රජයේ එ.ජ.ඩොලර් මිලියන 350ක ණය ප්‍රතිඥාව ද එම කටයුතු සඳහාම වෙන් කර ඇත. තව ද, 2025දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදුන් කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ලැබුණු විශේෂ ගැනුම් හිමිකම් (Special Drawing Rights – SDR) මිලියන 150.5 ක අයවැය සහය ද දිට්වා සුළි කුණාටුවට අදාළ ආපදාව කළමනාකරණය කිරීම මත පදනම් වූවකි; ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද මුල් අරමුණ වෙනස් කර තමන් ලබාදී තිබූ ණය මුදල් මේ සඳහා යොමු කර ඇත. මෙම ණය මුදල් සෘජුවම රාජ්‍ය ණයවලට එකතු වේ.

අංක 1 වගුව: රජයේ මුදල් ප්‍රවාහ මෙහෙයුම් පිළිබඳ සාරාංශය

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශයේ 2022-2024 වාර්ෂික වාර්තා සහ 2026 අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව



මූලාශ්‍රය

  1. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව, 2022 වාර්ෂික වාර්තාව: https://www.treasury.gov.lk/api/file/1c6c5c7d-annual-report-2022 [අවසන් වරට ප්‍රවේශය 2026 මාර්තු 24].
  2. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව, 2023 වාර්ෂික වාර්තාව: https://www.treasury.gov.lk/api/file/annual-report-2023[අවසන් වරට ප්‍රවේශය 2026 මාර්තු 24].
  3. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව, 2024 වාර්ෂික වාර්තාව: https://www.treasury.gov.lk/api/file/annual-report-2024[අවසන් වරට ප්‍රවේශය 2026 මාර්තු 24].
  4. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව, 2026 අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව:https://www.treasury.gov.lk/api/file/budget-economic-fiscal-position-report-2026 [අවසන් වරට ප්‍රවේශය 2026 මාර්තු 24].
  5. මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව, 2026 වාර්ෂික ණය ගැනීමේ සැලැස්ම සහ ණය කළමනාකරණ උපායමාර්ගය:https://www.treasury.gov.lk/api/file/annual-borrowing-plan-debt-management-strategy-2026 [අවසන් වරට ප්‍රවේශය 2026 මාර්තු 24].
  6. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව: 2026 පෙබරවාරි 28 දිනට අරමුදලෙහි මූල්‍ය තත්ත්වය:https://www.imf.org/external/np/fin/tad/exfin2.aspx?memberkey1=895&date1Key=2026-02-28 [අවසන් වරට ප්‍රවේශය 2026 මාර්තු 24].
  7. ජනාධිපති මාධ්‍ය අංශය, ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩසටහන සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් පිරිනමයි: https://pmd.gov.lk/news/india-extends-usd-450-million-relief-package-for-rebuilding-sri-lanka-programme/ [අවසන් වරට ප්‍රවේශය 2026 මාර්තු 24].

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.