ණය අධිභාරය ගැන මුදල් අමාත්‍යාංශයට වරදී

"

ප්‍රශ්නය: මතයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් මූල්‍යන උපකරණයේ පොලිය වැඩියි කියලා. ශ්‍රී ලංකාවට අධිභාර ගෙවන්න වෙයි ද කියලත් කතා වෙනවා. ඔබ මේ විශ්ලේෂණය සමඟ එකඟ වනවා ද? පිළිතුර: “අධිභාර ඉබේ වැටෙන්නේ නැහැ. ගෙවන්න තියෙන IMF ණය IMF කොටසට අදාළ සීමාවන් ඉක්මවා ගියොත් විතරයි ඒවා පැනවෙන්නේ.”

මුදල් අමාත්‍යාංශය ආයෝජකයින් සඳහා සිදු කළ කතාවකින් උපුටා ගත්තකි, 2 | පෙබරවාරි 11, 2026

false

වැරදියි

තොරතුරු පිරික්සීම

දිට්වා සුළි කුණාටුවෙන් පසු, 2025 අගභාගයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF සංවිධානය) කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument – RFI) යටතේ අතිරේක මූල්‍යන පහසුකමක් හිමි විය. මෙම පසුබිම තුළ, 2026 පෙබරවාරි 11 දින මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජකයින් වෙත නිල වාර්තාවක් ඉදිරිපත් කරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් මූල්‍යන උපකරණය යටතේ ලබා ගත් ණය මුදල සඳහා ශ්‍රී ලංකාවට අධිභාර (surcharges) ගෙවීමට සිදුවේ ද යන්න පිළිබඳව මහජනතාව විසින් ප්‍රශ්නයක් නඟන ලදි.  ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධිභාර ඉබේ නොපැනවෙන බව පැවසූ මුදල් අමාත්‍යාංශය, එම අධිභාර පැනවෙන්නේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින කොටසට (quota) ආශ්‍රිත සීමාවන් ඉක්මවා ගොස් එය එලෙස දිගු කලක් පැවතුනහොත් පමණක්” බවත් පැවසීය.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගාස්තු සහ අධිභාර ප්‍රතිපත්තිය පිළිබඳ නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අංක 25/339 දරන ශ්‍රී ලංකාවට අදාළ වාර්තාව සමාලෝචනය කරන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී එකිනෙකට වෙනස් අධිභාර දෙකක් ඊට අදාළ විය හැක.

පළමු සහ විශාලතම අධිභාරය මට්ටම මත පදනම් වූවක් වන අතර එහි වටිනාතම ප්‍රතිශත ඒකක 2 කි. කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආපසු ගෙවීමට ඇති ණය ප්‍රමාණය එහි කොටසින් 300% ඉක්මවා ගිය වහාම මෙය අදාළ වේ. මෙම අධිභාරය සඳහා පොරොත්තු කාලයක් නොමැත; සීමාව ඉක්මවා ගිය සැණින් එය වහා, ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට අදාළ වාර්තාවට අනුව, කඩිනම් මූල්‍යන උපකරණයට අදාළ එ.ජ.ඩොලර් මිලියන 206 ක ණය මුදල නිදහස් කළ වහාම ශ්‍රී ලංකාවේ 300% කොටසේ සීමාව ඉක්මවා ගිය අතර, එම නිසා 300% මට්ටම ඉක්මවා ගිය කොටස සඳහා මෙම මට්ටම මත පදනම් වූ අධිභාරය වහා පැනවිණි.

දෙවන අධිභාරය අතිරේක ප්‍රතිශත ඒකක 0.75 ක, කාලය මත පදනම් වූ අධිභාරයකි (time-based surcharge). මෙය මට්ටම මත පදනම් වූ අධිභාරයට සමානව පැනවෙන නමුත්, එය අදාළ වන්නේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය යම්කිසි රටකට අදාළ කොටසින් 300% ට වඩා වැඩි මට්ටමක දිගු කාලයක් (ණය පහසුකම අනුව සාමාන්‍යයෙන් මාස 36 ක් හෝ 51 ක්) පවතින විට පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධිභාර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ලබා දුන් පිළිතුරේ සඳහන් වන්නේ “එම අධිභාර” (එනම්, අධිභාර දෙකම ගැන සඳහන් කරමින්) පැනවෙන්නේ ණය ප්‍රමාණය කිසියම් රටකට පවතින කොටස පදනම් කරගත් සීමාවන්ට වඩා ඉහළින් දිගු කාලයක් පැවතුනහොත් පමණක් බවයි. එහෙත්, මෙම ප්‍රකාශය සාවද්‍ය වේ. මන්දයත්, ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍යන උපකරණයට අදාළ ණය මුදල නිදහස් කළ අවස්ථාවේදී සිදු වූවාක් මෙන්, කොටස පදනම් කරගත් සීමාව ඉක්මවා ගිය වහාම වඩා වැඩි අගයක් ගන්නා මට්ටම මත පදනම් වූ අධිභාරය ඊට පැනවෙන බැවිනි.

එබැවින්, මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශය වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන: කඩිනම් මූල්‍යන උපකරණයට අදාළ ණය මුදල නිදහස් කිරීමෙන් පසු 300% කොටසේ සීමාව ඉක්මවා ගිය බැවින්, ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගන්න සියලුම ණය වාරික (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹ ඇති වත්මන් වැඩසටහන ද ඇතුළුව) දැන් අතිරේක 2% ක මට්ටම මත පදනම් වූ අධිභාරයට යටත් වේ. කෙසේ නමුත්, වත්මන් වැඩසටහනේ ණය වාරික සඳහා වන මෙම අධිභාරය, කඩිනම් මූල්‍ය පහසුකම් නොමැති වුව ද, 300% සීමාව ඉක්මවා ගිය වහා අදාළ වන්නට තිබූවකි.



මූලාශ්‍රය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “අරමුදලේ ගාස්තු සහ අධිභාර ප්‍රතිපත්තිය පිළිබඳ නිතර අසනු ලබන ප්‍රශ්න,” අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2024 ඔක්තෝබර් 11 දින, https://www.imf.org/en/about/faq/charges-and-surcharge-policy

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව: කඩිනම් මූල්‍යකරණ උපකරණය යටතේ ගැනුම් සඳහා වන අයැදුම — මාධ්‍ය නිවේදනය; කාර්ය මණ්ඩල වාර්තාව; සහ ශ්‍රී ලංකාව සඳහා වන විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා අංක 25/339 – ශ්‍රී ලංකාවට අදාළ වාර්තාව, 2025 දෙසැම්බර් 19 දින, https://www.imf.org/en/publications/cr/issues/2025/12/19/sri-lanka-request-for-purchase-under-the-rapid-financing-instrument-press-release-staff-572679

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.