තොරතුරු පිරික්සීම
ශ්‍රී ලංකාවේ මෑතකාලීන අපනයන වර්ධනය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් නොකරන බවත්, එය රටේ දිගුකාලීන ඓතිහාසික උපනතියට සමාන වන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ආචාර්ය ප්‍රියංග දුනුසිංහ විසින් තර්ක කරන ලදි. ඒ අනුව, 1978-2024 කාලපරිච්ඡේදය සඳහා සියයට 6.75 ක වාර්ෂික වර්ධනයක් උපුටා දැක්වූ ඔහු එය 2025 වසරේ අපනයන කාර්ය සාධනය සමඟ සංසන්දනය කළේය.
FactCheck.lk මෙම කරුණ ප්‍රශ්න තුනක් ඔස්සේ පරීක්ෂා කර ඇගයීමට ලක් කරයි: එනම්, (1) 1978 සහ 2024 අතර වාර්ෂික අපනයන වර්ධන වේගය සියයට 6.75 ක් වූයේ ද; (2) 2025 වසරේ අපනයන වර්ධනය (2024 වසරට සාපේක්ෂව) 1978 සිට මේ දක්වා වාර්තා වූ වාර්ෂික වර්ධනයට සමාන වන්නේ ද නැතහොත් අඩු වන්නේ ද; සහ (3) මෑතකාලීනව අපනයන වර්ධනය ඉහළ ගොස් නොමැති බවට වන ප්‍රකාශය ඇගයීම සඳහා වාර්ෂික අපනයන වර්ධනයට අදාළව 1978 සිට වාර්තා වූ සංඛ්‍යා සංසන්දනය කිරීම උචිත ද යන්නයි.
මෙය තහවුරු කර ගැනීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ප්‍රකාශයට පත් කරන ලද අපනයන දත්ත පරිශීලනය කරන ලදි.
1978 සහ 2024 අතර වාර්ෂික අපනයන වර්ධන වේගය සියයට 6.75 ක් වූයේ ද?
සේවා අපනයන සඳහා 1978 දක්වා දිවෙන සංසන්දනාත්මක ඓතිහාසික දත්ත නොමැති බැවින්, ආචාර්ය දුනුසිංහගේ ප්‍රකාශය භාණ්ඩ අපනයනය සම්බන්ධයෙන් සිදු කරන ලද්දක් වශයෙන් FactCheck.lk විසින් අර්ථකථනය කරන ලදි.
FactCheck.lk හි ගණනය කිරීම්වලට අනුව 1978 සිට 2024 දක්වා කාලය තුළ වාර්ෂික අපනයන වර්ධන වේගයන්හි සරල මධ්‍යන්‍යය සියයට 6.69 ක අගයක් පෙන්නුම් කරන අතර, එය ඔහු විසින් උපුටා දක්වන ලද සියයට 6.75 ට සමීප වේ.
2025 වසරේ අපනයන වර්ධනය 1978 සිට වාර්තා වූ වාර්ෂික වර්ධනයට සමාන වන්නේ ද? නැතහොත් අඩු වන්නේ ද?
මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ අපනයන දත්ත ලබාගත හැකිව තිබුණේ 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා පමණි. එම අවස්ථාවේ පවතින තොරතුරු පදනම් කර ගනිමින් ඇගයීම සිදු කිරීම සඳහා, එම මාස නවයේ දත්ත ඇසුරින් වසරක දත්ත පුරෝකථනය කර 2024 වසරේ අපනයන සමඟ සංසන්දනය කරන ලදි.
එම ගණනය කිරීම මත පදනම්ව, 2025 වසරේදී අපනයන සියයට 6.6 කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කරන ලදි. මෙම අගය ආචාර්ය දුනුසිංහ විසින් සංසන්දනය සඳහා භාවිතා කරන ලද 1978 න් පසු කාලසීමාව සඳහා අප ගණනය කළ සියයට 6.69 ක වේගයට සමීප වන අතර ඊට වඩා සුළු වශයෙන් අඩු අගයකි (අතිරේක සටහන 1 බලන්න).
අදාළ කරුණ සඳහා 1978 න් පසු කාලසීමාවට අදාළ දත්ත සංසන්දනය කිරීම උචිත ද?
පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය තිබී ඇත්තේ බොහෝ සෙයින් දුර්වල මට්ටමක ය. එබැවින්, 2025 වසරේ මෑතකාලීන අපනයන වර්ධනය 1978 සිට වාර්ෂික අපනයන වර්ධනය සමඟ සංසන්දනය කිරීමේදී, එම කාලය තුළ ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සිදු වූ ව්‍යූහාත්මක වෙනස්වීම් ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට නොගැනීමට ඉඩ ඇත. නිදසුනක් වශයෙන්, පසුගිය වසර 20 තුළ (2005-2024), වාර්ෂික වර්ධන වේගයන්හි සරල මධ්‍යන්‍යය සියයට 4.3 ක් වූ අතර පසුගිය වසර 10 (2015-2024) සඳහා එය සියයට 2.7 ක් විය.
මෑතකාලීන අපනයන වර්ධනය 1978 න් පසු ඉතා දිගුකාලසීමාවක් තුළ වාර්තා වූ සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමකින් වෙනස් නොවුව ද, එය පසුගිය වසර 10 සහ 20 තුළ වාර්තා වූ සාමාන්‍ය වර්ධනයට වඩා කැපී පෙනෙන ලෙස වැඩි අගයක් වන බව මෙම සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි.
සාරාංශයක් ලෙස, 2025 සඳහා ඇස්තමේන්තුගත සියයට 6.6 ක අපනයන වර්ධනය 1978 න් පසු කාල සීමාව තුළ වාර්තා වූ සාමාන්‍යයට වඩා වැඩි නොවන අතර එබැවින් එමගින් ආචාර්ය දුනුසිංහගේ ප්‍රකාශය තහවුරු කෙරේ. එහෙත්, පසුගිය වසර 10 සහ 20 තුළ අපනයනවල සාමාන්‍ය වර්ධන වේගය 2025 වසරට වඩා බෙහෙවින් අඩු අගයන් ගත් බැවින්, ඉතා මෑතකාලීන අපනයන කාර්ය සාධනය අතීතයට වඩා දියුණුවක් පෙන්නුම් නොකරන බවට ඔහු ඉදිරිපත් කරන තර්කය ගොඩනැගීමේදි 1978 න් පසු කාලසීමාවට සාපේක්ෂව අපනයන සංසන්දනය කිරීම උචිත නොවේ.
එබැවින්, අපි ආචාර්ය දුනුසිංහගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන 1: 2025 සම්පූර්ණ වර්ෂය සඳහා ආදළ අපනයන දත්ත මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බැවින්, FactCheck.lk විසින් 2025 වසරේ සංඛ්‍යා ඓතිහාසික සාමාන්‍යය සමඟ සංසන්දනය කරන ලදි. ඒ අනුව, 2024 සිට 2025 දක්වා අපනයන සියයට 6.3කින් වර්ධනය වී ඇති බව සම්පූර්ණ වර්ෂයටම අදාළ දත්ත සැලකීමේදී පෙනී යයි. මෙය ද ආචාර්ය දුනුසිංහ විසින් භාවිතා කරන ලද 1978න් පසු කාලසීමාවට අදාළ සියයට 6.69 ක සාමාන්‍ය වර්ධන වේගයට වඩා අඩු වන අතර පසුගිය වසර 10 සහ 20 ක කාලසීමාව තුළ පැවති සාමාන්‍ය වේගයට වඩා බෙහෙවින් වැඩි අගයකි.
මූලාශ්‍රය
විදේශීය අංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector