අනුර කුමාර දිසානායක Anura Kumara Dissanayake

පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ

"

...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්‍රය

පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

වතුකර ප්‍රදේශයේ – විශේෂයෙන්ම නුවරඑළිය ප්‍රදේශය තුළ – මන්දපෝෂණ තත්ත්වය, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පවතින බව පා.ම. දිසානායක සිය ප්‍රකාශය තුළින් පවසා සිටී. මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් 2019 වර්ෂයට අදාළව ලබා ගත හැකි දත්ත පරිශීලනය කර ඇත.

මන්දපෝෂණය යටතට ගැනෙන අවපෝෂණ තත්ත්වය, වයස අවුරුදු 5 ට අඩු ළමුන් සඳහා නිර්ණායක තුනක් භාවිතා කරමින් මනිනු ලැබේ: a) අඩු බර ප්‍රතිශතය (වයසට සරිලන බරෙහි සාමාන්‍යයට වඩා අඩු); b) මිටි වීමේ ප්‍රතිශතය (වයසට සරිලන උසෙහි සාමාන්‍යයට වඩා අඩු); සහ ඇ) කෘශභාවයේ ප්‍රතිශතය (උසට සරිලන බරෙහි සාමාන්‍යයට වඩා අඩු).

මෙහිදී තම ප්‍රකාශය සනාථ කිරීම සඳහා දත්ත ඉදරිපත් කිරීමේදී පා.ම. හට යම් වැරදීමක් සිදුව ඇත. (අංක 1 වගුව ද බලන්න):

  1. ශ්‍රී ලංකාවේ අඩු බර ළමුන්ගේ ප්‍රතිශතයත් (12.2%) නුවරඑළිය ප්‍රදේශයේ අඩු බර ළමුන්ගේ ප්‍රතිශතයත් (20%) අඩු බර දරු උපත් ප්‍රතිශත වශයෙන් පා.ම. දක්වයි.
  2. ශ්‍රී ලංකාව තුළ කෘශභාවය (8.2%) සහ මිටි වීම (7.4%) යන නිර්ණායක සඳහා වන අගයන් ඔහු විසින් මාරු කර දක්වා ති‌‌බේ.
  3. දත්තවලට අනුව නුවරඑළිය ප්‍රදේශයේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර කෘශභාවයේ ව්‍යප්තිය 7%ක් වුව ද පා.ම. විසින් ඒ සඳහා දක්වා ඇත්තේ මීට අඩු අගයකි. එනම්, 8.2% කි.

පා.ම. සතුව ඇති බොහෝ අගයන් නිවැරදි වුව ද ඔහු විසින් එම අගයන් නිවැරදි නොවන කාණ්ඩ සම්බන්ධයෙන් උපුටා දක්වා ඇත. එසේ වුවද, එම අගයන් නිවැරදි කළහොත්, නුවරඑළියේ මන්දපෝෂණය වඩාත් දරුණු වන බවට පා.ම. විසින් ඉදිරිපත් කෙරෙන අදහස ඉන් සනාථ වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අඩු බර, කෘශභාවය සහ මිටි බව යන ලක්ෂණ පෙන්වන වයස අවුරුදු 5 අඩු ළමුන්ගේ ප්‍රතිශතය එම නිර්ණායක සඳහා වන ජාතික සාමාන්‍යයට වඩා සැලකිය යුතු මට්ටමකින් වැඩි බව අංක 1 වගුවෙන් පෙනී යයි.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අංක 1 වගුව: අවුරුදු 5ට අඩු ළමුන් අතර මන්දපෝෂණයේ ව්‍යප්තිය සහ අඩු බර දරු උපත්

මූලාශ්‍ර:පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පෝෂණය පිළිබඳ දත්ත(2021), සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික සෞඛ්‍ය වාර්තාව(2019)



මූලාශ්‍රය

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පෝෂණය පිළිබඳ දත්ත(2021), ප්‍රවේශය; https://drive.google.com/file/d/1moElBzjwYkYbkZRZxXRth1rcUNoKUq0h/view[අවසන් වරට ප්‍රවේශය 2022 දෙසැම්බර් 01]

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික සෞඛ්‍ය වාර්තාව(2019), ප්‍රවේශය; http://www.health.gov.lk/moh_final/english/public/elfinder/files/publications/AHB/2020/AHB%202019.pdf[අවසන් වරට ප්‍රවේශය 2022 දෙසැම්බර් 01]

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.