රංජිත් සියඹලාපිටිය

බදු අයකිරීමේ සාර්ථකත්වය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ප්‍රකාශය අසාර්ථකයි

"

අපි 2022 දේශීය ආාදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 915 ක බදු ආදායමක් එකතු කරන්න ඉලක්කයක් ලබා දුන්නා. මේ අවුරුද්දේ ද.දේ.නි. සඳහා 8.2% ක සංකෝචනයක් පුරෝකථනය කරලා තිබියදීත් අපිට සැප්තැම්බර් අග වෙද්දි මේ අවුරුද්දේ ඉලක්කයෙන් 68.4% ක් සාක්ෂාත් කර ගන්න හැකි වුණා කියලා මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.

ඩේලි මිරර් | නොවැම්බර් 4, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

(i)දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් (සැප්තැම්බර් මස අග වන විට) එකතු කරන ලද බදු ආදායම ඉලක්කගත රු. බිලියන 915 ක ආදායමින් 68.4%ක් බවත් (රු. බිලියන 625.9) [2022 අයවැයෙහි ඇතුළත් පරිදි], (ii) දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි) සෘණ 8.2% ක වර්ධනයක් පෙන්වන සන්දර්භයක් තුළ මෙය යහපත් කාර්ය සාධනයක් බවත් [එනම්, ඉලක්ක නිර්ණය කළ අවස්ථාවේදී 2022 සඳහා මෙය අපේක්ෂා නොකරන ලද්දකි] රාජ්‍ය අමාත්‍යවරයා පවසන ලදැයි සැලකෙන ප්‍රකාශය තුළින් කියැවේ.

ඉහත කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2023 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සහ 2022 සංශෝධිත අයවැය ඇස්තමේන්තු පරිශීලණය කර ඇත.

පළමු කරුණ ( i ): බදු ආදායම සඳහා ලබා දුන් මුල් ඉලක්කය රු. බිලියන 908 ක් වූ බව 2022 සංශෝධිත අයවැය ඇස්තමේන්තු වාර්තාව පෙන්නුම් කරයි. මෙම අගය 2021 දී ඇස්තමේන්තු කරනු ලැබුවකි. රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇති තරමක් වැඩි රු. බිලියන 915 ක බදු ආදායම වනුයේ 2022 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතු බදු ආදායම වශයෙන් මෑතකදී සංශෝධනය කරන ලද ඇස්තමේන්තුව වේ. මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද ආදායම ඇස්තමේන්තු කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් සැලකිල්ලට ගෙන ඇත්තේ වැට් බද්ද සහ ආදායම/ලාභ මත බදු පමණි. අනෙකුත් විවිධ බදු මෙහිදී සැලකිල්ලට ගෙන නොමැත. ඒ අනුව, එකතු කරන ලද මුළු බදු ආදායම රු. බිලියන 633.2 ක් වන අතර එය රාජ්‍ය අමාත්‍යවරයා ඇස්තමේන්තු කළ ප්‍රමාණයට (රු. බිලියන 625.9) වඩා තරමක් වැඩි වේ. කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් ඔහුගේ ප්‍රකාශයෙහි හරය නිවැරදි යැයි සැලකිය හැක.

දෙවැනි කරුණ (ii): මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ 8.2% ක අනපේක්ෂිත සංකෝචනය (නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් උද්ධමනය අඩු කිරීම), අඩු බදු ආදායමක් අපේක්ෂා කිරීමට හේතුවක් ලෙස රාජ්‍ය අමාත්‍යවරයා දක්වා තිබීම නිවැරදි නොවේ. නාමික දළ දේශීය නිෂ්පාදිතයේ අනපේක්ෂිත වැඩිවීම (ඉහළ උද්ධමනය හේතුවෙන් සිදු වන) සත්‍ය වශයෙන්ම ඉහළ බදු ආදායමක් අපේක්ෂා කිරීමට හේතුවකි (බදු ආදායම විකුණුම් සහ ඉපැයීම්වල නාමික අගයන් මත පදනම් වන බැවිනි).

එබැවින්, තුන්වන කාර්තුව අවසන් වන විට එකතු කර තිබූ බදු ආදායම මගින් හොඳ කාර්ය සාධනයක් පෙන්නුම් කරන බවට පැවසීම නිවැරදි නොවේ. එම බදු ආදායම මුල් ඇස්තමේන්තුවෙන් 75%ත් වඩා අඩු වීමත්, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ අනපේක්ෂිත වර්ධනය සැලකිල්ලට ගැනීම සඳහා අගයන් සංශෝධනය කළ පසු බදු ආදායම මුල් ඇස්තමේන්තුවෙන් 56.3% ක් පමණක් වීමත් මීට හේතුවයි (අතිරේක සටහන බලන්න).

මේ අනුව, ඉහත සඳහන් පළමු කරුණ පසුපස ඇති අදහස නිවැරදි වන නමුත් දෙවැනි කරුණ නිවැරදි නොවේ. එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

වගුව අංක 1: සොයාගැනීම් පිළිබඳ සාරාංශය

මූලාශ්‍ර: රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023, සංශෝධිත අයවැය ඇස්තමේන්තු 2022



Additional Note

අයවැය සම්පාදනය කරන අවස්ථාවේදී 2022 සඳහා නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා පුරෝකථනය 10.8% ක් (2022 මූල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව) වශයෙන් පැවතිණ. කෙසේ වෙතත්, 2022 සඳහා නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා වත්මන් සංශෝධිත පුරෝකථනය 34.6% (2023 අයවැය ලේඛන ඇසුරින් ගණනය කර ඇත) කි. නාමික දළ දේශීය නිෂ්පාදිතයේ 23.8%ක අනපේක්ෂිත වර්ධනයක් ඇති බව ඉන් අදහස් කෙරේ. ඒ අනුව, මෙම වෙනස සැලකිල්ලට ගැනීම සඳහා අගයන් සංශෝධනය කළ විට අපේක්ෂිත බදු ආදායම රු. බිලියන 908 සිට රු. බිලියන 1,124 දක්වා ඉහළ යනු ඇත.


මූලාශ්‍රය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023, ප්‍රවේශය; https://www.treasury.gov.lk/api/file/321d137c-231e-4f7f-85f6-e073fcde5259 [අවසන් වරට ප්‍රවේශය 2022 දෙසැම්බර් 08] 

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2022, ප්‍රවේශය; https://www.treasury.gov.lk/api/file/16e9c6ec-7a13-4220-a8a7-1427c5d14785 [අවසන් වරට ප්‍රවේශය 2022 දෙසැම්බර් 08] 

සංශෝධිත අයවැය ඇස්තමේන්තු 2022 – පළමු වෙළුම, ප්‍රවේශය; https://www.treasury.gov.lk/web/2022-detailed-revised-budget-estimates [අවසන් වරට ප්‍රවේශය 2022 දෙසැම්බර් 08] 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.