තොරතුරු පිරික්සීම
2026 ජූලි 24 වැනි දින, පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඉහත ප්‍රකාශය සිදු කරන ලදි.
අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් කරුණු දෙකක් ඇගයීමට ලක් කරන ලදි: එනම්, (1) සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් මිලියනයක ජනගහනයකට අවම වශයෙන් විනිසුරුවන් 40–60 ක් හෝ සිටිත් ද යන්න; සහ (2) ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට ආසන්න වශයෙන් විනිසුරුවන් 20 ක් සිටිත් ද යන්නයි. විනිසුරුවන් සංඛ්‍යාව පිළිබඳ දත්ත ප්‍රධාන වශයෙන් යුරෝපීය අධිකරණ කාර්යක්ෂමතා කොමිසම (European Commission for the Efficiency of Justice – CEPEJ), එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC), සහ ශ්‍රී ලංකා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ (MoJ) 2025 ට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මගින් ලබා ගන්නා ලදි.
පළමු කරුණ සම්බන්ධයෙන්: FactCheck.lk විසින් මිලියන පහකට වඩා වැඩි ජනගහනයක් ඇති සංවර්ධිත ආර්ථිකයන් 28 ක් සඳහා අදාළ දත්ත පරීක්ෂා කරන ලදි (අතිරේක සටහන 1 බලන්න). ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රගත ආර්ථිකයන් පිළිබඳ වර්ගීකරණය සහ ලෝක බැංකුවේ ඉහළ ආදායම් ලබන ආර්ථිකයන් පිළිබඳ වර්ගීකරණය භාවිතා කරමින් මෙම විශ්ලේෂණය සඳහා සංවර්ධිත ආර්ථිකයන් හඳුනාගන්නා ලදි.
අංක 1 වගුවෙහි දැක්වෙන සංසන්දනය මගින් ඉහළ ආදායම් ලබන රටවල් අතර මේ සඳහා සැලකිය යුතු විචල්‍යතාවක් පෙන්නුම් කෙරේ (අතිරේක සටහන 2 බලන්න). මෙම අගයන් හොංකොං විශේෂ පරිපාලන කලාපය සඳහා වාර්තා වූ මිලියනයකට විනිසුරුවන් 22.3 සිට ග්‍රීසියෙන් වාර්තා වූ 373 දක්වා පරාසයක පැවතිණි. කෙසේ වෙතත්, පරීක්ෂා කරන ලද ආර්ථිකයන් 28 න් 23 ක මිලියනයක ජනගහනයකට අවම වශයෙන් විනිසුරුවන් 40 ක් හෝ සිටි අතර, 21 ක අවම වශයෙන් 60 ක් හෝ සිටියහ. එබැවින්, මිලියනයකට විනිසුරුවන් 40–60 යන්න සංවර්ධිත ආර්ථිකයන් හරහා ඒකාකාරී මිණුම් දණ්ඩක් නොවුණ ද, සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් මිලියනයකට විනිසුරුවන් 40–60 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින බවට අමාත්‍යවරයා සිදු කළ පුළුල් ප්‍රකාශය පවතින දත්ත මගින් සනාථ කෙරේ.
දෙවැනි කරුණ සම්බන්ධයෙන්: අධිකරණ අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව 2025 දෙසැම්බර් 31 දින වන විට ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ලැයිස්තුගත කර ඇති වෙනත් අධිකරණ ආයතන හරහා විනිසුරුවන් සහ ලැයිස්තුගත කර ඇති අනෙකුත් අධිකරණ නිලධාරීන් 419 ක් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ නවතම සංගණනය මගින් මිලියන 21.78 ක ජනගහනයක් වාර්තා කරනු ලැබේ. මෙම 419 ක් වූ අධිකරණ නිලධාරීන් ජනගහනයෙන් බෙදූ විට මිලියනයකට දළ වශයෙන් විනිසුරුවන් 19.2 ක් ලැබේ. මෙය අමාත්‍යවරයා ප්‍රකාශ කළ මිලියනයකට විනිසුරුවන් 20 ක් යන අගය සමඟ සමපාත වේ.
ඒ අනුව, පවතින සාක්ෂි මගින් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙහි ඇතුළත් කරුණු දෙකම සනාථ කෙරේ: එනම්, පරීක්ෂා කරන ලද බොහොමයක් සංවර්ධිත ආර්ථිකයන්හි මිලියනයකට විනිසුරුවන් 40 කට වඩා සිටින අතර, ශ්‍රී ලංකාවේ සිටිනනේ ආසන්න වශයෙන් 20 දෙනෙකි.
එබැවින්, අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිැවරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන 1: විවිධ අධිකරණ පද්ධති හරහා වෘත්තීය විනිසුරුවරයෙකු පිළිබඳව එකම නිර්වචනයක් භාවිතා කරන, සම්පූර්ණයෙන්ම සංසන්දනය කළ හැකි තනි ගෝලීය දත්ත කට්ටලයක් නොමැති බැවින්, රටවල් හරහා කෙරෙන සංසන්දනයන් දර්ශකයක් ලෙස පමණක් සැලකිය යුතුය. කෙසේ වෙතත්, මෙය දත්ත තුළින් නිරීක්ෂණය කරන ලද පුළුල් රටාවට භෞතිකව වෙනසක් සිදු නොකරයි.
අතිරේක සටහන 2: මෙම ජාත්‍යන්තර සංසන්දනය සඳහා සාධාරණ ලෙස සංසන්දනය කළ හැකි නවතම දත්ත භාවිතා කර ඇත. බොහෝ නිරීක්ෂණයන් 2022 වර්ෂයට අයත් වන අතර, ඇතැම් රටවල් සඳහා ඊට පෙර වර්ෂවලින් ලබාගත හැකි වූ වඩාත්ම යාවත්කාලීන දත්ත භාවිතා කර ඇත. සම්පූර්ණ රටවල දත්ත, දත්ත ලබා ගත් වර්ෂ සහ මූලාශ්‍ර අංක 1 වගුවෙහි දක්වා ඇත.
*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.




මූලාශ්‍රය
යුරෝපීය අධිකරණ කාර්යක්ෂමතා කොමිසම (CEPEJ), ‘CEPEJ-STAT: යුරෝපීය අධිකරණ පද්ධතිවල ගතික දත්ත සමුදාය’ [https://www.coe.int/en/web/cepej/cepej-stat]
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC), ‘අපරාධ යුක්ති කාර්ය මණ්ඩලය’, UNODC දත්ත [https://data.unodc.org/datareport/cjs-personnel]
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, 2025 වාර්ෂික කාර්ය සාධන වාර්තාව (ශ්‍රී ලංකා රජය 2025) [https://www.moj.gov.lk/images/pdf/Annual_Performance/PerformanceReport-2025-E.pdf]
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජන හා නිවාස සංගණනය 2024: අවසන් වාර්තාව (ශ්‍රී ලංකා රජය 2025) [https://www.statistics.gov.lk/Resource/en/Population/CPH_2024/CPH2024_Final_Eng.pdf]