තොරතුරු පිරික්සීම
ITN ප්‍රවෘත්ති සේවයේ අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසා සිටියේ 2025 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ “මුළු ණය” ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 100.3 ක් වූ බවත්, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% කට සමාන බවත්ය. මෙම පදනම මත, ශ්‍රී ලංකාව 2032 ට අදාළ ණය ඉලක්කය දැනටමත් සපුරා ඇති බවට ඔහු පවසා සිටියේය.
අමාත්‍යවරයා සඳහන් කළ කරුණ පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති ණය පිළිබඳ දත්ත සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF සංවිධානය) සමඟ එළැඹ ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ වාර්තා කර ඇති ණය පිළිබඳ දත්ත සමාලෝචනය කරන ලදි.
ණය වශයෙන් සැලකෙන දත්ත සහ ණය සංසන්දනය කරන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ දෝෂ තුනක් ඇතුළත් වන අතර, ඉන් ඇතැමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති විසින් මීට පෙර සිදු කරන ලද ප්‍රකාශයක ද ඇතුළත්ව තිබිණි. මේ සඳහා 2026 අගෝස්තු 12 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ‘ණය බර ගැන මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය තරමක් නිවැරදියි’ යන මැයෙන් යුත් කරුණු පිරික්සීම බලන්න.
පළමුව, අමත්‍යවරයා මෙරට “මුළු ණය” ලෙස හඳුන්වා දෙන සංඛ්‍යාව මධ්‍යම රජයේ ණය වන අතර එය ණය පිළිබඳ පූර්ණ මිනුමක් නොවේ. අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද එ.ජ.ඩොලර් බිලියන 100.3 ක අගය මුදල් අමාත්‍යාංශය පළ කර ඇති මධ්‍යම රජයේ ණය යන මිනුම සමඟ ගැලපේ. 2025 අවසන් වන විට මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,109 ක් වූ අතර එය දළ වශයෙන් එ.ජ.ඩොලර් බිලියන 100.4 කට සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% කට සමාන වේ (අංක 1 වගුව බලන්න). කෙසේ වෙතත්, මධ්‍යම රජයේ ණය මගින් අතිරේක ණය වගකීම් ද ඇතුළත් වන රාජ්‍ය ණය පිළිබඳ පුළුල් මිනුම විස්තර නොකෙරේ (අතිරේක සටහන බලන්න).
දෙවනුව, අමාත්‍යවරයා මධ්‍යම රජයේ ණය උපුටා දක්වා ඇත්තේ රාජ්‍ය ණය සඳහා තබා ඇති ඉලක්කය සම්බන්ධයෙන් මිස මධ්‍යම රජයේ ණය සඳහා වන ඉලක්කය සඳහා නොවේ. ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන යටතේ, අදාළ ණය ඉලක්කය වන්නේ රාජ්‍ය ණය “2032 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% ට වඩා අඩුවීමයි” (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව: විස්තීර්ණ පහසුකමක් සඳහා වන ඉල්ලීම, 2023 මාර්තු, I වන ඇමුණුම, 7 වන ඡේදය).
තෙවනුව, අදාළ මිනුම (රාජ්‍ය ණය) 2025 අවසන් වන විට 95% සීමාවෙන් පහළට වැටී නොතිබුණි. 2025 අවසන් වන විට රාජ්‍ය ණය එම සීමාවට වඩා ඉහළ මට්ටමක පැවතිණි: එනම් මුදල් අමාත්‍යාංශයේ මිනුම යටතේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 98.30% ක් සහ IMF වැඩසටහනේ මිනුම යටතේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 101.1% ක් වශයෙනි (අංක 1 වගුව සහ අතිරේක සටහන බලන්න).
සාරාංශයක් ලෙස, අමාත්‍යවරයා අතින් සිදු වී ඇති දෝෂ තුනකි: (1) ඔහු මධ්‍යම රජයේ ණය රටේ “මුළු ණය” ලෙස ඉදිරිපත් කරයි; (2) ඔහු එම මධ්‍යම රජයේ ණය සංඛ්‍යාව රාජ්‍ය ණය පිළිබඳ පුළුල් මිනුම සඳහා නියම කර ඇති ඉලක්කයකට අදාළ කරයි; සහ (3) මුදල් අමාත්‍යාංශයේත් IMF වැටසටහනේත් මිනුම් යටතේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% කට වඩා ඉහළින් පැවතිය ද, එම ඉලක්කය සපුරා ඇති බවට ඔහු ප්‍රකාශ කරයි.
ඒ අනුව, 2025 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව 2032 රාජ්‍ය ණය ඉලක්කය සපුරා ඇති බවට සිදු කරන ප්‍රකාශය නිල ණය සංඛ්‍යා දත්තවල ප්‍රකාශයට පත් කර ඇති කරුණු සමඟ නොගැලපේ.
එබැවින්, මෙම ප්‍රකාශය වැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.
*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 වගුව: 2025 අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය තොගය

අතිරේක සටහන: මුදල් අමාත්‍යාංශයේ කාර්තුමය ණය වාර්තාවට අනුව රාජ්‍ය ණය පහත සඳහන් සංරචකවලින් සමන්විත වේ: (1) මධ්‍යම රජයේ ණය, (2) පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ණය, සහ (3) රජය සතු ව්‍යවසායන්ගේ ණය. අංක 1 වගුව පෙන්වා ඇති පරිදි, 2025 අවසන් වන විට මෙම සංරචකවල එකතුව රුපියල් බිලියන 32,195 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 98.30% කට සමාන වේ.
වත්මන් IMF වැඩසටනෙහි රාජ්‍ය ණය සම්බන්ධයෙන් වඩාත් පුළුල් නිර්වචනයක් භාවිතා කර තිබේ. මධ්‍යම රජයේ ණය සහ රජයේ ඇප සහිත ණයවලට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිශ්චිත බාහිර වගකීම් ද ඊට ඇතුළත් වේ. මෙම මිනුම යටතේ, 2025 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 101.1% ක් ලෙස පැවතිණි.
මෙම මිනුම් දෙකේ ආවරණයන් එකිනෙකට වෙනස් වුව ද, 2025 අවසන් වන විට එම මිනුම් දෙකෙන්ම රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% කට වඩා ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දෙයි (ඉහත අංක 1 වගුව බලන්න).
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිදු කළ ප්‍රකාශයක් ඇගයීමට ලක් කළ අවස්ථාවේදී ද FactCheck.lk මෙම වෙනස අවධාරණය කර ඇත. මධ්‍යම රජයේ ණය මගින් නියෝජනය වනුයේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තක්සේරු කිරීම සඳහා භාවිතා කරන රාජ්‍ය ණය මිනුමෙහි එක් කොටසක් පමණක් බව එම කරුණු පිරික්සීමෙන් ද පෙන්වා දෙන ලදි: https://factcheck.lk/factcheck/cbsl-governor-reports-debt-reduction-with-reduced-accuracy/ කියවන්න.
මූලාශ්‍රය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ශ්‍රී ලංකාව: විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ විස්තීර්ණ පහසුකමක් සඳහා වන ඉල්ලීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය වාර්තා අංක 23/116 (IMF 2023) https://www.imf.org/en/publications/cr/issues/2023/03/20/sri-lanka-request-for-an-extended-arrangement-under-the-extended-fund-facility-press-531191
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), වාර්ෂික ආර්ථික සමාලෝචනය 2025 (CBSL 2026) https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2025
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ‘කාර්තුමය සංඛ්‍යාන ණය වාර්තාව’ (ශ්‍රී ලංකා රජය) https://www.treasury.gov.lk/web/public-debt-management-office/section/news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ශ්‍රී ලංකාව: විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන විස්තීර්ණ පහසුකමෙහි පස්වන සහ හයවන සමාලෝචන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය වාර්තා අංක 26/111 (IMF 2026) https://www.imf.org/en/publications/cr/issues/2026/05/27/sri-lanka-fifth-and-sixth-reviews-under-the-extended-arrangement-under-the-extended-fund-576370