පූබුදු ජයගොඩ

වැටුප්වල සැබෑ අගය ගැන පුබුදු ජයගොඩගෙන් නිවැරදි නොවන ප්‍රකාශයක්

"

අලුතෙන් නිකුත් වී තිබෙන මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වර්ෂය සමඟ සංසන්දනය කරන විට 2025 වර්ෂය වන විට වැටුපේ සැබෑ අගය සියයට 24 කින් පහත වැටිලා.

අරුණ | ජූලි 20, 2026

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2020 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය වන විට වැටුප්වල මූර්ත අගය 24% කින් පහත වැටී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් ප්‍රකාශ කරන ලදි. ඔහු විසින් මේ බව සඳහන් කරන ලද්දේ 2026 ජූලි 20 වැනි දින ‘අරුණ’ පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වන අතරවාරයේදීය.

FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ප්‍රකාශයට පත් කරන ලද නාමික සහ මූර්ත (උද්ධමනය සඳහා ගලපන ලද) වැටුප් අනුපාතික පිළිබඳ දර්ශක පරීක්ෂා කරන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පරිදි තනි වැටුප් දර්ශකයක් ප්‍රකාශයට පත් නොකෙරේ. මහ බැංකුව නිතිපතා පළ කරන සංඛ්‍යාලේඛන වගු මගින් රාජ්‍ය අංශයේ සේවකයින් සහ අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වෙන වෙනම වැටුප් අනුපාතික දර්ශක සපයනු ලබන අතර, මෙම දර්ශක ශ්‍රේණි දෙක අඩු වැඩි වන්නේ එකිනෙකට වෙනස් ආකාරවලටය. එබැවින්, වැටුප්වල මූර්ත අගය 24% කින් පහත වැටී ඇති බවට වන පුළුල් ප්‍රකාශය තහවුරු කිරීම සඳහා මෙම ශ්‍රේණි දෙකෙහිම නවතම දත්ත යොදා ගැනීමට සිදු වේ. කෙසේ වෙතත්, එම ප්‍රකාශය මෙම කිසිදු දත්ත ශ්‍රේණියක් මගින් තහවුරු නොකෙරේ.

මෙම දර්ශක ශ්‍රේණි දෙකෙන්ම පෙන්වා දෙන්නේ මූර්ත වැටුප් 2020 මට්ටම්වල සිට සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි. කෙසේ වෙතත්, නවතම දත්ත මගින් පෙන්නුම් කරනු ලබන පහත වැටීමේ ප්‍රමාණය පුබුදු ජයගොඩ ප්‍රකාශ කරන ප්‍රමාණයට වඩා බෙහෙවින් කුඩා අගයකි. 2025 දෙසැම්බර් වන විට, 2020 වර්ෂයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූර්ත වැටුප් දර්ශකය 16.1% කින් ද, අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූර්ත වැටුප් දර්ශකය 11.8% කින් ද පහත වැටී ඇත (අංක 1 වගුව බලන්න).

මෙහිදී FactCheck.lk හට පෙනී යන්නේ පුබුදු ජයගොඩ විසින් උපුටා දක්වන ලද 24% ක පහත වැටීමේ අගය ගැලපෙන්නේ 2025 වසර අවසානයට වඩා 2024 වසර අවසානය දක්වා වූ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූර්ත වැටුප් දර්ශකයේ පහත වැටීමට පමණක් වන බවයි. එබැවින්, ඔහු සඳහන් කළ අගය මගින් පිළිබිඹු වන්නේ ඔහු ප්‍රකාශ කළ පරිදි නවතම සංඛ්‍යාලේඛනවල ඇතුළත් දත්ත නොව, අතීත දත්තවල දැක්වෙන තත්ත්වයයි. අතීත දත්තා සඳහා ඔහුගේ ප්‍රකාශය ඇගයීමේදී පවා, අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් පහත වැටී ඇත්තේ 14.0% කින් පමණි—එය ඔහු උපුටා දක්වන ලද අගයට වඩා බෙහෙවින් අඩු අගයකි.

2025 වසර අවසානය වන විට, රාජ්‍ය අංශයේ සේවකයින් නියෝජනය කළේ සමස්ත සේවා නියුක්ත පුද්ගලයින්ගෙන් 15.2% ක් පමණක් බව ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. සමස්තයක් ලෙස පෞද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව මගින් මුළු සේවා නියුක්ත පුද්ගලයින්ගෙන් 45.3% ක් නියෝජනය විය. කෙසේ වෙතත්, අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් දර්ශකය මගින් ආවරණය වවනුයේ දෛනික වැටුප් ලබන ශ්‍රමිකයින් පමණක් බවට පෙනී යන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ශ්‍රම බලකා සමීක්ෂණ දත්ත මගින් සමස්ත සේවා නියුක්ත ජනගහනයෙන් ඔවුන්ගේ ප්‍රතිශතය කොපමණදැයි දැක්වෙන්නේ නැත.

සාරාංශයක් ලෙස, පුබුදු ජයගොඩ විසින් පවසන ලද 24% ක පහත වැටීම පිළිබඳ ප්‍රකාශය නිවැරදි වන්නේ 2024 අවසානය දක්වා වූ රාජ්‍ය අංශයේ මූර්ත වැටුප් දර්ශකයට පමණි—එය ඔහු ප්‍රකාශ කරන පරිදි නවතම දත්ත සඳහා හෝ පොදුවේ සමස්ත ශ්‍රමික පිරිස සඳහා හෝ නිවැරදි නොවේ. තව ද, 2025 වසර අවසානය වන විට, මූර්ත වැටුප් පිළිබඳව පවතින දත්ත මගින් පෙන්නුම් කරනු ලබන්නේ එම අගයන් ඔහු ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් කුඩා අගයන්වලින් පහත වැටුණු බවය (16.1% සහ 11.8%).

එබැවින්, අපි මෙම ප්‍රකාශය වැරදියි යනුවෙන් යැයි වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: රාජ්‍ය අංශයේ සහ අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් අනුපාතික පිළිබඳ දර්ශක, 2019 දෙසැම්බර සිට 2025 දෙසැම්බර් දක්වා.



මූලාශ්‍රය

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ නාමික හා මූර්ත වැටුප් අනුපාතික දර්ශක, මිලගණන්, වැටුප් හා සේවා නියුක්තියපිළිබඳ සංඛ්‍යාලේඛන වගු (cbsl.gov.lk). වෙනස්වීමේ ප්‍රතිශත FactCheck.lk විසින් ගණනය කරන ලද අගයන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.