බදු ඉලක්ක ගැන ගැටළුවේදී පා.ම. ‌ගොඩහේවාට ඉලක්කය වරදී!

"

[…] 2023 සඳහා අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,130කි [2022 සිට 70%ක වැඩිවීමක්]. එය ප්‍රායෝගික දෙයක් නොවේ. බදු ජාලය නිසියාකාරව ක්‍රියාත්මක නොවන නිසා 2022 දී බදු ගෙවූ ජනතාවටම ඒ බදු බර පැටවෙයි. ඇත්තටම සිදුව ඇත්තේ බදු ගෙවන්නන්ට තම අවශ්‍යතා සඳහා වැය කරන්න තිබෙන ආදායම 70%කින් අඩුවීමයි.

අරුණ | ඔක්තෝබර් 9, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

අරුණ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පා.ම. නාලක ගොඩහේවා කරුණු දෙකක් සඳහන් කළේය: එම කරුණු දෙක නම්, (1) 2022 ට සාපේක්ෂව 2023 අයවැයෙන් බදු ආදායම 70% කින් ඉහළ නැංවීම ප්‍රායෝගික නොවන බවත්, සහ (2) බදු ඉහළ නැංවීම නිසා බදු ගෙවන්නන්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වියදම් කිරීමට ඉතිරි වන ආදායම 70% කින් අඩු වී ඇති බවත් යන්නයි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 සඳහා වන වාර්ෂික වාර්තාව පරිශීලනය කරන ලදි.

පළමු කරුණ: බදු ආදායම 70%කින් ඉහළ නැංවීම ප්‍රායෝගික නොවන බවට පා.ම. සඳහන් කළ කරුණ ප්‍රධාන හේතු තුනක් මත නිවැරදි නොවේ.

පළමුව, (අ) උද්ධමනය හා වර්ධනය ද (නාමික වැටුප් සහ මිල ගණන් වැඩි වන විට අය කර ගනු ලබන බදු මුදල් ද ඊට සමගාමීව වැඩි වන බැවින්); (ආ) බදු ප්‍රතිපත්ති ද (බදු අනුපාතිකය සහ බදු වැඩිවීමට යටත් වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට සමගාමීව එකතු කරන ලබන බදු මුදල් ද වැඩි වන බැවින්), බදු ආදායමේ ඉහළ යාමට හේතු වේ. උද්ධමනයක් නොමැතිව වුව ද ආදායම් බදු සහ පරිභෝජන බදු 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කළ හැකි ප්‍රතිපත්තිමය වෙනස්කම් ද සමඟින් සාමාන්‍ය (වාර්තා වූ දොළොස් මාසික උද්ධමනය නොවේ) උද්ධමනය 29.9% ක් වීම මත පදනම්ව 2023 සඳහා 70% න් බදු ඉහළ නැංවීම ප්‍රායෝගික වන්නේ යැයි පුරෝකථනය කරන ලදි. බදුවල අපේක්ෂිත ඉහළ නැංවීම ප්‍රායෝගික නොවන්නක් වශයෙන් සැලකිය නොහැකි බව මින් පෙනී යයි (අංක 1 වගුව බලන්න).

දෙවනුව, බදු ජාලය පුළුල් නොවන බවත් එම නිසා දැනට සිටින බදු ගෙවන්නන් හට එම බදු වැඩි වීම දැරීමට සිදු වනු ඇති බවත් යනුවෙන් පා.ම. සිදු කළ ප්‍රකාශය ද සාවද්‍ය ය. සංශෝධන දෙකක් හේතුවෙන් ආදායම් බදු ජාලය පුළුල් විය: ( i ) 2020 දී වාර්ෂික ආදායම රුපියල් මිලියන 3 අඩු පුද්ගලයින් ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබුව ද 2023 දී එම සීමාව රුපියල් මිලියන 1.2 දක්වා පහත දමන ලදි. (ii) විවිධ ආදායම් වර්ග මත රඳවා ගැනීමේ බද්ද වැනි නව බදු පනවන ලදි. එම පියවර නොගත්තේ නම් බදු ජාලයට එම ආදායම් මාර්ග මගහැරීමට ඉඩක් තිබිණි.

තෙවනුව, ආදායම් බදු සම්බන්ධයෙන් පමණක් පා.ම.ගේ අවධානය යොමුවීම ද නුසුදුසුය. පරිභෝජන බදු ගණයට වැටෙන එකතු කළ අගය මත බද්ද (වැට්) සහ සුරාබදු ඇතුළු වෙනත් විවිධ බදුවල මාර්ගයෙන් ද බදු ආදායම එකතු කරනු ලැබේ. 2023 සඳහා අපේක්ෂිත බදු වැඩිවීමෙන් වැඩි කොටසක් ආදායම් බදු මාර්ගයෙන් නොව වැට් බද්ද සඳහා සිදු කරන ලද සංශෝධන මාර්ගයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

දෙවැනි කරුණ: බදු වැඩි කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා බදු ගෙවන්නන් හට වැය කිරීමට ඉතිරි වන ආදායම 70% කින් අඩු වූ බවට පා.ම. සිදු කළ ප්‍රකාශය ද කරුණු දෙකක් නිසා සාවද්‍ය ය.

පළමුව, මුල් කොටසෙහි පෙන්වා දුන් පරිදි, බදුවල සමස්ත වැඩිවීම ආදායම් බදු මගින් හෝ දැනටමත් බදු ගෙවන පුද්ගලයින්ගේ මාර්ගයෙන් හෝ පමණක්ම සිදු නොවේ.

දෙවනුව, ගෙවන බදු ප්‍රමාණය 70%කින් වැඩි කිරීමෙන් පරිභෝජනය සඳහා ඉතිරි වන ආදායම 70%කින් අඩු වන බවට පා.ම. සඳහන් කළ කරුණගණිතමය වශයෙන් නිවැරදි නොවේ. උදාහරණයක් වශයෙන්, යම් පුද්ගලයෙකු රුපියල් 1,000ක් උපයාගෙන බදු වශයෙන් රුපියල් 100ක් ගෙවන්නේ නම්, බදු ගෙවීම 70% න් වැඩි වූ විට ගෙවිය යුතු බදු මුදල රුපියල් 170 දක්වා ඉහළ නැංවෙනු ඇත. බදු අය කිරීමෙන් පසු ඉතිරි වන ආදායම එවිට 7% න් අඩු වන අතර එය පා.ම. සඳහන් කළ පරිදි 70% ක පහත වැටීමක් නොවේ. ප්‍රතිශතයක් වශයෙන් ආදායම් බද්දෙහි විශාලතම වෙනස් වීමක් සිදු වූයේ මසකට රුපියල් 800,000ක් උපයන පුද්ගලයින් හට වන අතර එහිදී පරිභෝජනය සඳහා ඉතිරි වන ආදායම 746,000 සිට 585,500 දක්වා අඩු විය. මෙය 70%ක පහත වැටීමක් නොව 22%ක පහත වැටීමකි.

සමස්තයක් වශයෙන්, පා.ම. සඳහන් කළ කරුණු දෙකම නිවැරදි නොවේ. එබැවින්, අපි පා.ම. ගොඩහේවාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

අංක 1 වගුව: 2022 සිට 2023 දක්වා බදු ආදායම වැඩි වූ අයුරු

අංක 1 ප්‍රස්තාරය: ආදායමට සාපේක්ෂව ගෙවන ලද ආදායම් බදු කොටස (ප්‍රතිශතයක් ලෙස)



මූලාශ්‍රය

වාර්ෂික වාර්තා 2022, ශ්‍රී ලංකා මහ බැංකුව. https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2022  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.