Ranil Wickremesinghe

මුදල් අච්චු ගහන්න දැන් බැහැ! – ජනාධිපති කියන කතාව ඇත්ත ද?

"

මහ බැංකුවේ පාලනය එතැනට දුන්නා, ඇඟිලි ගහන්නේ නැතිව. මින්පසු නීතියෙන් අපිට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් සල්ලි අපිට ණයට ගන්නත් බැහැ. එය දුෂ්කර වුවත් උද්ධමනය පාලනය කිරීමට අපි මේ පියවර ගෙන තිබෙනවා.

රූපවාහිනී පුවත් | ඔක්තෝබර් 21, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත (මහ බැංකු පනත) මගින් “මුදල් අච්චු ගැසීම” දැනට වළක්වා ඇති බව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මහ බැංකු පනත සහ ඉවත් කරන ලද මුදල් නීති පනත (422වන අධිකාරය) පරිශීලනය කරන ලදි.

පසුගිය කරුණු පිරික්සීමකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සඳහන් කරන ලද්දේ රටේ “මුද්‍රණය කරන ලද” මුදල් ප්‍රමාණය “සංචිත මුදල්” ප්‍රමාණයේ වෙනසට සමාන බවයි. මෙම ප්‍රකාශය FactCheck.lk විසින් නිවැරදි බවට තහවුරු කර ඇත. කෙසේ වෙතත්, ජනප්‍රිය මාධ්‍යය තුළ මෙන්ම තාක්‍ෂණික නොවන භාවිතයේදී ද, “මුදල් මුද්‍රණය/අච්චු ගැසීම” යන යෙදුම බොහෝ විට භාවිතා වන්නේ අයවැය පොරොන්දු සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීමේ (monetary financing) වඩාත් සීමිත ක්‍රියාකාරකම හැඳින්වීමට ය. මුදල් සම්පාදනය කරගැනීම යනු ඉහත සඳහන් කළ “මුදල් මුද්‍රණය කිරීම” යන යෙදුමේ තාක්ෂණික නිර්වචනයේ එක් කොටසකි. පුද්ගලික අංශයට ණය දීම සහ විදේශ වත්කම් මිලදී ගැනීම වැනි සංචිත මුදල් වැඩි කිරීමේ වෙනත් ක්‍රම මෙහිදී අත්හැර ඇත.

“මුදල් මුද්‍රණය කිරීම” යන යෙදුම, “මුදල් සම්පාදනය කරගැනීම” යන එහි තාක්ෂණික නොවන අර්ථයෙන් ජනාධිපතිතුමා භාවිතා කර ඇති බවට FactCheck.lk විසින් ඔහුගේ ප්‍රකාශය තක්සේරු කිරීමේදී අර්ථකථනය කරන ලදි.

මෑත කාලීන මහ බැංකු පනතෙහි 86 සහ 127 වගන්ති මගින් මහ බැංකුව වීසින් මුදල් සම්පාදනය කිරීම තුන් ආකාරයකින් සීමා කෙරේ.

(1) මහ බැංකුව විසින් රජය හෝ රාජ්‍ය අස්ථිත්වයන් (entity) වෙත ණය ලබා දීම තහනම් කෙරේ (හදිසි අවශ්‍යතාවන් සඳහා ඇතැම් ව්‍යතිරේක සහිතව)

(2) මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොළින් රජය හෝ රජය සතු අස්ථිත්ව විසින් නිකුත් කර ඇති සුරැකුම්පත් මිලදී ගැනීම තහනම් කෙරේ (ද්විතියික වෙළඳපොළේ මිලදී ගැනීම් තුළින් මෙම තහනම මග හැරීමට නොහැකි වන‌ සේ ඒ සඳහා සීමා පනවා ඇත)

(3) මහ බැංකුව විසින් රජය වෙත තාවකාලික අත්තිකාරම් ලබා දීම මුදල් වර්ෂයේ පළමු මාසයට සීමා කෙරේ (පෙර වසරේ පළමු මාස 4 වාර්තා වූආදායමෙන් 10% දක්වා මුදලක්)

කෙසේ වෙතත්, මහ බැංකු පනත ක්‍රියාත්මක කරන ලද දිනයේ සිට මාස 18 ක කාලයක් දක්වා ප්‍රාථමික වෙළඳපොළින් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමට එම පනතට ඇතුළත් තාවකාලික ප්‍රතිපාදනයක් (128 වගන්තිය) මහ බැංකුවට ඉඩ ලබා දේ. එසේ වුව ද, 2023 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙත ලබා දෙන ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,740 දක්වා සීමා කරන ප්‍රතියෝජිත වගකීමක් IMF සමඟ එළැඹී ඇති වත්මන් වැඩපිළිවෙලට ඇතුළත් වී ඇත.

(a) මහ බැංකු පනතෙහි ඇතුළත් ඉහත සඳහන් 1 සහ 2 තහනම්, (b) මහ බැංකු පනත විසින් අවසර ලබා දී ඇති, ජනවාරි මාසයේදී පමණක් ලැබෙන සීමිත අත්තිකාරම්, සහ (ඇ) IMF වැඩසටහනට ඇතුළත් රු. ට්‍රිලියන 2.74 ක සීමාව‌ තෙක් මහ බැංකුව දැනටමත් ණය ලබා දී තිබීම නිසා මුදල් සම්පාදනය කිරීමට අදාළ තාවකාලික ප්‍රතිපාදනය අහෝසි වීම යන කරුණු හේතුවෙන් මුදල් සම්පාදනය කරගැනීම සඳහා සීමා පැනවී ඇත.

එබැවින්, (2024 ජනවාරි දක්වා) තවදුරටත් මුදල් සම්පාදනය කරගැනීමට නොහැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීම නිවැරදි ය.

එබැවින්, අපි ඉහත ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත (2023). https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/acts/en/central_bank_of_sri_lanka_act_2023_e.pdfවෙතින් 2023 නොවැම්බර් 3 දින ලබා ගන්නා ලදි

මුදල් නීති පනත (422 අධිකාරය). (2014) https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/acts/en/monetary_law_act.pdf වෙතින් 2023 නොවැම්බර් 3 දින ලබා ගන්නා ලදි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (IMF). (2023) ශ්‍රී ලංකාව: විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ වැඩපිළිවෙලක් සඳහා ඉල්ලීමක් ඉදරිපත් කිරීම – මාධ්‍ය නිවේදනය; කාර්ය මණ්ඩල වාර්තාව; සහ ශ්‍රී ලංකාවේ විධායක අධ්‍යක්ෂගේ ප්‍රකාශය; ශ්‍රී ලංකාව සඳහා IMF වාර්තාව අංක 23/116; මාර්තු 6, 2023. විවිධ රටවල් සඳහා IMF කාර්ය මණ්ඩල වාර්තා, 2023(116). https://www.imf.org/en/Publications/CR/Issues/2023/03/20/Sri-Lanka-Request-for-an-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-Press- 531191

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.