පා.ම. නිරෝෂන් කාර්මික අංශය ගැන නිවැරදි නමුත් අපනයන ගැන නිවැරදි නොවේ

"

[ශ්‍රී ලංකාවේ] අපනයන 19.5% කින් පහත වැටී තිබෙනවා. […] 2023 පළමු කාර්තුවේදී කාර්මික අංශය 23.4% කින් කඩා වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | අගෝස්තු 23, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

  • ශ්‍රී ලංකාවේ අපනයන5% කින් පහත වැටී ඇති බවත්, (2) 2023 පළමු කාර්තුවේදී කාර්මික අංශය 23.4% කින් කඩා වැටී ඇති බවත් යනුවෙන් කරුණු දෙකක් පා.ම. විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවකදී සඳහන් කරන ලදි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළ කරනු ලබන අපනයන සහ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) අදාළ සංඛ්‍යාලේඛන පරිශීලනය කර ඇත.

පළමු කරුණ සම්බන්ධයෙන්: පා.ම. මෙම කරුණට අදාළ කාල රාමුව සඳහන් නොකරයි. කෙසේ නමුත්, 2022 ජූනි මාසයට සාපේක්ෂව 2023 ජූනි මාසයේදී භාණ්ඩ අපනයනයේ 19.5% ක පහත වැටීමක් මහ බැංකුවේ අපනයන සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන බව FactCheck.lk විසින් නිරීක්ෂණය කරන ලදි.

අපනයන චක්‍ර සහ අපනයන ආදායමේ උච්චාවචනයන් හේතුවෙන් අපනයනවල පහත වැටීම සමස්තයක් වශයෙන් ගෙන ප්‍රකාශයක් සිදු කිරීම සඳහා එක් මාසයක අපනයන දත්ත පමණක් යොදා ගැනීම නොමඟ යවනසුළුය. නිදසුන් වශයෙන්, පා.ම. 2023 ජූනි වෙනුවට 2023 ජූලි මාසයේ දත්ත සංසන්දනය කළේ නම් මෙම වෙනස 12.4% ක් වනු ඇත.

වඩාත් සාධාරණ තක්සේරුවක් වනුයේ යම් නිශ්චිත මාස ගණනාවක් තුළ සිදු කළ අපනයන සංසන්දනය කිරීමයි. 2022 වසරේ පළමු හා දෙවැනි කාර්තුවලට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන 7.9% කින් ද, 2023 දෙවන කාර්තුවේ දී 12.1% කින් ද පහත වැටී ඇත. මෙම කාල වකවානු දෙකේදීම සිදු වූ පහත වැටීම පා.ම. සඳහන් කළ 19.5% ක පහත වැටීමට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයන් වේ.

දෙවැනි කරුණ සම්බන්ධයෙන්: 2022 පළමු කාර්තුවට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේදී කාර්මික අංශයේ නිෂ්පාදනවල මූර්ත වටිනාකම 23.4% න් පහත වැටුණු බව දළ දේශීය නිෂ්පාදිතයට අදාළ දත්ත තහවුරු කරන අතර, මෙය පා.ම. විසින් නිවැරදිව උපුටා දක්වා තිබේ.

සාරාංශ වශයෙන්, පා.ම. කාර්මික අංශයේ නිෂ්පාදනවල සිදු වූ පහත වැටීම නිවැරදිව උපුටා දක්වයි. කෙසේ වෙතත්, අපනයනවල පහත වැටීම සඳහා ඔහු සඳහන් කරන සංඛ්‍යාව පමණට වඩා වැඩි කොට දක්වා ඇති අතර එය නොමඟ යවන සුළු ද වේ. කාර්තුමය වශයෙන් හෝ යම් කාලසීමාවක් පදනම් කර ගනිමින් හෝ තක්සේරු කළ විට අපනයනවල දක්නට ලැබෙන සාමාන්‍ය පහත වැටීම දැක්වීම සඳහා ඔහු මාසික ලක්ෂ්‍යමය පදනම මත සිදු කළ සංසන්දනයක් යොදා ගැනීම නිසාවෙන් එය එසේ නොමඟ යවනසුළු වේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

‘විදේශීය අංශය’, ශ්‍රී ලංකා මහ බැංකුව.  https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector

‘ජාතික ගිණුම්: දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි), ශ්‍රී ලංකා මහ බැංකුව. https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/real-sector/national-accounts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.