Eran Wickramaratne

විදේශ ප්‍රේෂණ අඩුවීම ගැන පා.ම වික්‍රමරත්න තරමක් නිවැරදියි

"

අපි රටට එන ප්‍රේෂණය දිහා බැලුවොත් 2016, 2017, 2018 දී තමයි වැඩියෙන්ම ප්‍රේෂණ ඇවිත් තියෙන්නේ. 2020 ත් තරමක් ආවා. ඊට පස්සේ බැහැගෙන ගිහින් තියනවා. එතකොට ඉහළින්ම ආව ප්‍රේෂණය ඩොලර් බිලියන 7.2 ක් විතර (....). අද ඒ ප්‍රේෂණය ඩොලර් බිලියන 3.7 ට වැටිලා තියනවා.

සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | අගෝස්තු 28, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

(i) වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත්තේ 2016-2018 කාලසීමාව තුළ බවත්, (ii) 2020 සිට ප්‍රේෂණ ප්‍රමාණය අඛණ්ඩව අඩුවී මේ වන විට එයඑ.ජ.ඩොලර් බිලියන 3.7 දක්වා පහත වැටී ඇති බවත් යනුවෙන් විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් කරුණු දෙකක් සමගි ජන බලවේග මාධ්‍ය හමුවකදී පා.ම වික්‍රමරත්න සඳහන් කළේය.

 

පා.ම.ගේ ප්‍රකාශයෙහි සඳහන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින්  විවිධ වර්ෂයන් සඳහා අදාළ  ශ්‍රී ලංකා මහබැංකු වාර්තා (CBSL1) සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික ආර්ථික දර්ශක (CBSL2) පරිශීලනය  කරන ලදි.

 

ප්‍රස්තාරය 1 පා.ම.ගේ පළමු ප්‍රකාශය තහවුරු කරයි. ඉහළම විදේශ ප්‍රේෂණ මට්ටම වාර්තා වී ඇත්තේ 2016-2018 කාලය තුළ බවත්, එය අඛණ්ඩවඑ.ජ.ඩොලර් බිලියන 7 ඉක්ම වූ බවත් එමගින් පෙනී යයි. මෙම අගයම 2020 දී ද වාර්තා වී ඇත.

 

2020 සිට 2022 දක්වා කාලය තුළ ප්‍රේෂණවල අඛණ්ඩ පහත වැටීමක් පෙන්වා දෙමින් පා.ම. සඳහන් කළ දෙවැනි කරුණේ එක් කොටසක් CBSL1සනාථ කරයි. පා.ම ‘අද’ යැයි පවසන විට එය 2023 වසර සඳහා අදාළ  ප්‍රේෂණවල වත්මන් තත්ත්වය ලෙස අර්ථකථනය කෙරෙනු ඇත. එහෙත්, ඔහු මෙහිදී ඉදිරිපත් කරනුයේ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 3.7 ක් ලෙස සටහන් වූ, 2022 සඳහා අවසන් වශයෙන් ලබා ගත හැකිව තිබූ වාර්ෂික දත්ත වේ.

 

කෙසේ වෙතත්, විදේශ  ප්‍රේෂණ පිළිබඳ වඩාත් යාවත්කාලීන දත්ත ලබා ගත හැකි අතර, පා.ම සඳහන් කළ දෙවැනි කරුණේ එක් කොටසක් එම දත්ත සමඟ සැස‌ඳෙන්නේ නැත.  CBSL2 හි දත්ත පෙන්වා දෙන්නේ 2022 සඳහා වූ මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අභිබවා යමින්, 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා ලැබුණු විදේශ ප්‍රේෂණ එ.ජ.ඩොලර් බිලියන 3.8 ඉක්ම වූ බවයි. මාසික සාමාන්‍යය එලෙසම පැවතුනහොත් 2023 දී ලැබෙන මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 5.8 ක් වනු ඇත.

 

සාරාංශයක් ලෙස ගත් කළ, ඉහළම ප්‍රේෂණ අගයන් වාර්තා කළ වර්ෂයන් සහ 2020 න් පසුව සිදු වූ පහත වැටීම පිළිබඳව පා.ම නිවැරදි වන නමුත්, 2022 අවසන් වන විට එ.ජ.ඩොලර් බිලියන 3.7 ක් දක්වා පහත වැටී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වර්තමාන තත්ත්වය පිළිබිඹු කිරීමක් ලෙස ගෙන හැර පෑම නිවැරදි නොවේ. 2023 දී විදේශ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් සිදු වූ බව මාසික දත්ත පෙන්වා දෙයි.

 

එබැවින්, පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

 

FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

ප්‍රස්තාරය 1: 2003 සිට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ

 

වගුව 1: 2023 විදේශ ප්‍රේෂණ සඳහා මාසික අගයන්



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තා (විවිධ වර්ෂ), ප්‍රවේශය:

https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2023 සැප්තැම්බර්30]

ශ්‍රී ලංකා මහ බැංකුව, දත්ත පුස්තකාලය, ප්‍රවේශය:

https://www.cbsl.lk/eresearch/ [අවසන් වරට ප්‍රවේශය: 2023 සැප්තැම්බර් 30]

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික ආර්ථික දර්ශක, ප්‍රවේශය:

https://www.cbsl.gov.lk/statistics/economic-indicators/monthly-indicators [අවසන් වරට ප්‍රවේශය: 2023 ඔක්තෝබර් 11]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.