අනුර කුමාර දිසානායක

සංචිත ගැන රනිල් වික්‍රමසිංහට වැරදුණු තැනම ජනපති අනුර කුමාරටත් වරදී

"

22 බැංකු වලට ඩොලර් නැහැ. මහ බැංකුවෙත් ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි....මහ බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියනවා.

නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානය නැවත ස්ථාපනය කිරීමේ උත්සවයේදී | මැයි 22, 2026

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2022 වසරේදී මෙන් නොව, අද වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සන්තකයේ එ.ජ.ඩොලර් බිලියන 7 කට ආසන්න මුදලක් පවතින බව ජනාධිපති අනුරු කුමාර දිසානායක විසින් පවසන ලදි.

මෙම ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක පරිශීලනය කරන ලදි.

FactCheck.lk මෙය කොටස් 2කින් සමන්විත ප්‍රකාශයක් ලෙස අර්ථකථනය කරයි: එනම්, (1) 2022 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඩොලර් නොතිබූ බවත්, (2) වර්තමානයේදී එය සතුව එ.ජ.ඩොලර් බිලියන 7 කට ආසන්න මුදලක් පවතින බවත් මින් කියැවේ. එක්ව ගත් කළ, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත එ.ජ.ඩොලර් බිලියන 7 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බව මෙයින් ප්‍රකාශ වේ.

ජනාධිපතිතුමා වර්තමානයට අදාළව උපුටා දැක්වූ අගය පදනම් වී ඇත්තේ 2026 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළ දළ නිල සංචිත මත වන අතර, එය එ.ජ.ඩොලර් මිලියන 7,026 ලෙස පැවතිණි. කෙසේ වෙතත්, මෙම අගයට චීන මහජන බැංකුව (People’s Bank of China) සමඟ ඇති කරගත්, දළ වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 1,436 ක වටිනාකමින් යුත් විනිමය හුවමාරු එකඟතාවත් ඇතුළත් වේ (අතිරේක සටහන 2 බලන්න). “භාවිතයට ගැනීම සීමා කරන කොන්දේසිවලට එය යටත්” වන බැවින් මෙම විනිමය හුවමාරුව “භාවිතයට ගත නොහැකි” යැයි වර්ගීකරණය කර ඇත.

චීන මහජන බැංකුවේ විනිමය හුවමාරුව අත්හළ විට, 2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචිත එ.ජ.ඩොලර් මිලියන 5,590 ලෙස පැවතිණි. එබැවින්, ජනාධිපතිවරයා 2022 ට අදාළව උපුටා දැක්වූ සංඛ්‍යාව පිළිගනු ලැබුව ද, සංචිතවල වැඩිවීම ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන පරිදි එ.ජ.ඩොලර් මිලියන 7,026 ක් විය නොහැක.

එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකාවේ සංචිතවල ඉහළ යාම වැඩි කොට දක්වා ඇත. ඒ, භාවිතයට ගත නොහැකි විනිමය හුවමාරු පහසුකමක් ඇතුළත් සංඛ්‍යාවක් පදනම් කර ගනිමින් සංචිතවල වටිනාකම උපුටා දැක්වීම හේතුවෙනි.

එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන 1: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූනි මස ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී ඔහු අතින් ද මෙවැනිම දෝෂයක් සිදු විය. 2022 අප්‍රේල් මාසයේදී “සිඳී ගොස් තිබූ” සංචිත, එ.ජ.ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව එහිදී ඔහු පැවසීය. අප විසින් මේ සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ කරුණු පිරක්සීම ‌මෙතැනින්: https://factcheck.lk/fact-check-on-president-ranil-wickremesinghes-special-address-to-the-nation-on-june-26-2024/

අතිරේක සටහන 2: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන අතරවාරයේදී එම සංවිධානයේ වාර්තාකරණයන් තුළ අඛණ්ඩව සඳහන් කර ඇත්තේ චීන මහජන බැංකුවේ විනිමය හුවමාරුව මේ මොහොත දක්වා සංචිත වත්කමක් ලෙස භාවිතයට ගත නොහැකි මට්ටමක පැවති බවයි. කෙසේ වෙතත්, 2026 අවසානය වන විට මෙම විනිමය හුවමාරුව භාවිතයට ගත හැකි වනු ඇතැයි ජාත්‍යන්තර මූලය අරමුදල විසින් 2026 මැයි 27 දින නිකුත් කරන ලද නවතම සමාලෝචනය මගින් පුරෝකථනය කර ඇත. මෙයින් පිළිබිඹු වන්නේ එහි භාවිතය සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසි ඒ වන විට සපුරාලනු ඇතැයි යන අපේක්ෂාවයි. එබැවින්, අනාගතයේදී මෙම විනිමය හුවමාරුව ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි සංචිතවල කොටසක් ලෙස සුදුසුකම් ලැබීමට ඉඩකඩ පවතින නමුත්, එය වත්මන් තත්ත්වය නොවේ.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක, සතිපතා ආර්ථික දර්ශක | Central Bank of Sri Lanka

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.