තොරතුරු පිරික්සීම
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගෝලීය ඉන්ධන මිලෙහි පවතින අස්ථාවරත්වය යන පුළුල් පසුබිම යටතේ අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 750 ක පමණ පිරිවැයකට සාපේක්ෂව ලැබෙන්නේ රුපියල් 492 ක් පමණක් බවයි. ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම “විශාල අලාභයක්” ලබන බව ඔහු මේ පදනම මත තර්ක කළේය.
මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk ආයතනය විසින් බලශක්ති අමාත්‍යාංශයේ 2026 මැයි මස ඉන්ධන මිල පිළිබඳ නිවේදනය සහ වෙරිටේ රිසර්ච් විසින් publicfinance.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති ඉන්ධන මිල ට්‍රැකරයෙහි (Fuel Price Tracker) 2026 මැයි මාසයට අදාළ යාවත්කාලීන කිරීම පරිශීලනය කරන ලදි. මෙම ට්‍රැකරය මඟින් 2018 වසරේදී මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය භාවිතා කරමින් මාසික පදනමින් පූර්ණ පිරිවැය පියවා ගැනීමට අවශ්‍ය ඉන්ධන මිල ගණන් ගණනය කරනු ලැබේ.
පළමුවෙන්ම, ඛනිජ තෙල් සංස්ථාව වෙත ලැබෙන රුපියල් 492 පිළිබඳ ජනාධිපතිවරයාගේ ගණනය කිරීම නිවැරදි වේ. නවතම වෙළෙඳපොළ සංශෝධනයට පෙර, 2026 මැයි මාසයේ මිල ගණන් යටතේදී ලීටරයක සිල්ලර මිල රුපියල් 392 ක් වශයෙන් ජනාධිපතිවරයා නිවැරදිව සඳහන් කර ඇත. ඉන් පසුව සිදු කරන ලද ගණනය කිරීම ද නිවැරදි වේ: එනම්, පාරිභෝගිකයින් විසින් ගෙවනු ලබන රුපියල් 392 සහ රජය විසින් ඛනිජ තෙල් සංස්ථාව වෙත ගෙවනු ලබන රුපියල් 100 ක සහනාධාරය (මෙය සැබවින්ම බදු ආපසු ලබා දීමකි) එකතු වූ විට, ඛනිජ තෙල් සංස්ථාව වෙත ලීටරයකට රුපියල් 492 ක් ලැබෙන බව ඉන් අදහස් වේ.
දෙවනුව, ඩීසල් සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව ආයතනය “විශාල අලාභයක්” ලබන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ඔහුගේ අදහස් දැක්වීමේ සන්දර්භය අනුව, මෙම “විශාල” අලාභය මඟින් පිළිබිඹු වන්නේ පිරිවැය පියවා ගැනීම සඳහා රුපියල් 750 ක් ලැබිය යුතු බවට ඛනිජ තෙල් සංස්ථාව වාර්තා කර ඇති ගණනය කිරීම සහ එයට ලැබෙන රුපියල් 492 අතර පවතින පරතරයයි. මෙම පිරිවැය පියවා ගැනීමට අවශ්‍ය මිල රුපියල් 720 ක් පමණ වන බවට ජනාධිපතිවරයා තම ප්‍රකාශයේදී ඉඟි කර තිබිණි. ඒ අනුව, ඛනිජ තෙල් සංස්ථාව වාර්තා කර ඇති මෙම මිලගණන් මත පදනම්ව, එයට රුපියල් 492 ක් ලැබෙන විට, සිදුවන අලාභය ලීටරයකට රුපියල් 258 කි.
කෙසේ වෙතත්, මෙම අලාභය මෙතරම් “විශාල” වීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි කිරීම සඳහා වැඩිදුර තොරතුරු සඳහන් කිරීමක් අවශ්‍ය වේ.
ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය රජයේ ඉන්ධන මිල සූත්‍රය සහ 2026 අප්‍රේල් මාසය සඳහා වන සිංගප්පූරු ඩීසල් සම්මත මිල ගණන් (Singapore diesel benchmark prices) මත පදනම් වූ ජාත්‍යන්තර ප්‍රසම්පාදන පිරිවැය අනුව ගණනය කරන්නේ නම් සියලුම පිරිවැය පියවා ගැනීමට ඒ වෙත ලැබිය යුත්තේ ඔවුන් ප්‍රකාශ කරන පරිදි රුපියල් 750 ක් නොව, රුපියල් 551 ක් පමණි. එවැනි තත්ත්වයක් යටතේ 2026 මැයි මාසයේදී ලීටරයකට ලැබුණු රුපියල් 492 ක මුදල මත වුව ද ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් අලාභයක් ලබන නමුත්, එවිට අලාභය වනුයේ ලීටරයකට රුපියල් 59 ක පමණි. මෙය අලාභය වශයෙන් හඟවන ලද ලීටරයකට රුපියල් 258 ක මුදලට වඩා බෙහෙවින් අඩු අගයකි.
සමස්තයක් ලෙස ගත් කළ, ඛනිජ තෙල් සංස්ථාව “විශාල අලාභයක්” ලබන්නේ යැයි සැලකීම සාක්ෂි මගින් තහවුරු වේ. නමුත්, ලීටරයකට රුපියල් 258 ක පමණ ඉතා විශාල අලාභයක් පෙන්නුම් කිරීමට හේතු වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව ජාත්‍යන්තර ප්‍රසම්පාදන පිරිවැය සඳහා වාර්තා කර ඇති මිලගණන්, ප්‍රසම්පාදනය සඳහා වන සම්මත මිල ගණන්වලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීමයි (අතිරේක සටහන බලන්න). කෙසේ වෙතත්, 2026 මැයි මාසයේදී ඛනිජ තෙල් සංස්ථාව ඩීසල්වලින් විශාල අලාභයක් ලැබූ බවට වන ජනාධිපතිවරයාගේ වඩා පුළුල් ප්‍රකාශය මෙමගින් නිෂ්ප්‍රභ නොවේ.
එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාර්තා කර ඇති ලීටරයකට රුපියල් 750 ක පිරිවැය පියවා ගැනීමේ මිල ඉන්ධන මිල සූත්‍රය සමඟ සමපාත වීමට නම්, ප්‍රසම්පාදන මිල බොරතෙල් බැරලයකට එ.ජ.ඩොලර් 268 ක් පමණ විය යුතු බව මින් හඟවා ඇත. කෙසේ වෙතත්, 2026 අප්‍රේල් මාසයේදී සම්මත සිංගප්පූරු ඩීසල් මිල සාමාන්‍යයෙන් බැරලයකට එ.ජ.ඩොලර් 190 ක් පමණ වූ අතර, එය එ.ජ.ඩොලර් 268 අභිබවා ගියේ අප්‍රේල් 2 සහ 6 අතර කාලය තුළ පමණි. අප්‍රේල් 8 වැනිදා සිට ඉදිරියට, එක් දිනක් හැර සෙසු සෑම දිනකම සම්මත මිල එ.ජ. ඩොලර් 200 ට වඩා අඩු මට්ටමක පැවති අතර, එහි සාමාන්‍යය බැරලයකට එ.ජ.ඩොලර් 172 ක් පමණ විය. 2026 මැයි මාසයේදී, සම්මත මිල බැරලයකට එ.ජ.ඩොලර් 157 ක් දක්වා අඩු වූ අතර එය මේ දක්වා එම මට්ටමේ පවතී. එබැවින් ඛනිජ තෙල් සංස්ථාව වාර්තා කර ඇති ලීටරයකට රුපියල් 750 ක පිරිවැය මඟින් පිළිබිඹු වන්නේ එම කාල සීමාව තුළ පැවති ජාත්‍යන්තර සම්මත මිලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මිලකට ප්‍රසම්පාදනය සිදු කර ඇති බවයි.
FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
මූලාශ්‍රය
මූලාශ්‍ර
- නිව්ස්වයර් (Newswire), “ඩීසල් ලීටරයක මිල දැන් රුපියල් 720 කි — ඉන්ධන තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර අදහස් දක්වයි,” 13 මැයි 2026, ඇතුළත් වෙබ් අඩවිය: https://www.newswire.lk/2026/05/13/diesel-litre-now-costs-rs-720-president-akd-speaks-on-fuel-situ/ [අවසන් වරට ප්‍රවේශය 27 මැයි 2026].
- බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව, 2026 මැයි මාසය සඳහා අදාළ මිල ගණන්, ඇතුළත් වෙබ් අඩවිය: https://energymin.gov.lk/wp-content/uploads/2026/05/Price-Applicable-for-May-2026.pdf [අවසන් වරට ප්‍රවේශය 27 මැයි 2026].
- වෙරිටේ රිසර්ච් (Verité Research) / PublicFinance.lk, ඉන්ධන මිල ට්‍රැකරය (Fuel Price Tracker) — 2026 මැයි යාවත්කාලීන කිරීම, ඇතුළත් වෙබ් අඩවිය: https://dashboards.publicfinance.lk/fuel-price-tracker/ [අවසන් වරට ප්‍රවේශය 27 මැයි 2026].
- වෙරිටේ රිසර්ච් (Verité Research) / PublicFinance.lk, ඉන්ධන මිල සූත්‍රය: සංශෝධිත ක්‍රමවේදය (2025 මාර්තු), ඇතුළත් වෙබ් අඩවිය: https://dashboards.publicfinance.lk/fuel-price-tracker/wp-content/uploads/2025/03/Fuel-Price-Methodology.pdf [අවසන් වරට ප්‍රවේශය 27 මැයි 2026].
- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceylon Petroleum Corporation), අලෙවිකරණ සහ විකුණුම් — වත්මන් සිල්ලර මිල ගණන්, ඇතුළත් වෙබ් අඩවිය: https://ceypetco.gov.lk/marketing-sales/ [අවසන් වරට ප්‍රවේශය 27 මැයි 2026].