තොරතුරු පිරික්සීම
බන්ධනාගාරවල පවතින අධික තදබදය පිළිබඳ පසුබිම තුළ, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්/බුද්ධි තොරතුරු සහ ආරක්ෂක/මාධ්‍ය ප්‍රකාශක) (වැඩ ආවරණය කරන) අනුරුද්ධ ගජනායක විසින් ප්‍රකාශ කරන ලදැයි පැවසුන, පුළුල් ලෙස වාර්තා වූ ප්‍රකාශයක් තුළ සඳහන් වූයේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා තැබිය හැකි උපරිම ධාරිතාව මෙන් හතර ගුණයකට ආසන්න පිරිසක් එහි රඳවා සිටින බවයි. බන්ධනාගාර තුළ පුද්ගලයින් 11,000 කට පමණක් ඉඩකඩ පවතින බවත්, දැනට සිටින පිරිස 40,000 ක් පමණ වන බවත් ඔහු විසින් ප්‍රකාශ කරන ලදි. ඉන් 10,000 ක් පමණ දඬුවම් විඳින වරදකරුවන් වන අතර ඉතිරි 30,000 තහවුරු නොකළ චෝදනා මත රඳවා සිටින, එනම්, මෙතෙක් වරදකරුවන් නොවූ පුද්ගලයෝ වෙති.
මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර ජනගහනය සහ ධාරිතාව පිළිබඳ දත්ත සමාලෝචනය කරන ලදි. මෙයට එහි නිල සංඛ්‍යාන ඇතුළත් වෙබ් පිටුව සහ 2025 ට අදාළ ශ්‍රී ලංකා බන්ධනාගාර සංඛ්‍යාලේඛන වාර්තාව ඇතුළත් වේ.
මෙම ප්‍රකාශයෙහි දත්ත කරුණු දෙකක් අඩංගු වේ: එනම්, (1) බන්ධනාගාරගතව සිටින පිරිසේ ප්‍රමාණය සහ සංයුතිය පිළිබඳව, සහ (2) බන්ධනාගාරවල ඉඩකඩ සම්බන්ධයෙනි. FactCheck.lk විසින් මෙම කරුණු අංක 1 වගුවෙහි හි සාරාංශගත කර ඇති, දැනට පවතින නවතම නිල සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව ඇගයීමට ලක් කරන ලදි.
බන්ධනාගාරගතව සිටින පිරිස: 2026 ජූලි 5 දින වන විට, මුළු පිරිස 41,257 ක් ලෙස සටහන් විය (එම කරුණ 40,000 ක් ලෙස උපුටා දක්වා තිබිණි). බන්ධනාගාරගත මෙම පිරිස අතරින්, 10,812 ක් වරදකරුවන් ලෙස නම් කරන ලද පුද්ගලයින් (10,000 ක් ලෙස උපුටා දක්වා ඇත) වූ අතර 30,445 ක් මෙතෙක් වරදකරුවන් නොවූ පුද්ගලයෝ (30,000 ක් ලෙස උපුටා දක්වා ඇත) වූහ. ප්‍රකාශය සිදු කළ තැනැත්තාගේ සංඛ්‍යාලේඛන මගින් නිල සංඛ්‍යාලේඛන නිරූපණය වන බව මින් අදහස් කෙරේ.
ඉඩකඩ ධාරිතාව: ධාරිතාවට අදාළව FactCheck.lk විසින් හඳුනාගත් ප්‍රකාශිත නවතම සංඛ්‍යාලේඛනය 2024 අග භාගය සඳහා අදාළ වන අතර, පුද්ගලයින් 10,395 දෙනෙකු සඳහා ඉඩකඩ තිබූ බව එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත (ප්‍රකාශය සිදු කළ තැනැත්තා විසින් එය 11,000 ක් ලෙස සඳහන් කරන ලදි).
2026 ජූලි 5 දින වාර්තා වූ බන්ධනාගාරගත පිරිස සහ ධාරිතාවය සඳහා 2024 අග භාගයට අදාළ ප්‍රකාශිත නවතම සංඛ්‍යාලේඛන භාවිතා කිරීමේදී, එහි ධාරිතා උපයෝජන අනුපාතිකය 397% ක් ලෙස පෙන්නුම් කරයි — එනම්, මෙය පවතින ඉඩකඩ මෙන් හතර ගුණයකට ආසන්න වේ.
එබැවින්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අතිරේක සටහන: බන්ධනාගාරගතව සිටින පිරිස පිළිබඳ දත්ත 2026 ජූලි 5 දිනට අදාළ වන අතර, ඉඩකඩ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනය 2024 අග භාගයට අදාළ වේ. එබැවින් මෙහි ගණනය කර ඇති තදබදය පිළිබඳ අනුපාතය තුළින්, 2026 වර්ෂයේ ජනගහනය 2024 වර්ෂයේ ධාරිතාව සමඟ සංසන්දනය කෙරේ. බන්ධනාගාර ධාරිතාව වේගයෙන් වෙනස් නොවන බැවින්, මෙම නොගැලපීම නිගමනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එහෙත්, ධාරිතාව පිළිබඳ යාවත්කාලීන කරන ලද දත්ත ප්‍රකාශයට පත් කරන තෙක් වත්මන් නිශ්චිත ධාරිතා උපයෝජන අනුපාතිකය තහවුරු කළ නොහැක.