විමල් වීරවංශ

පා.ම. වීරවංශගේ IMF තර්කය පදනම් විරහිතයි

"

සමස්ත අපනයන ආදායම පහුගිය අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ 10% ට ආසන්න ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එය ඉතා බලවත් අඩුවීමක්…එතකොට පැහැදිලියි මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශක්තවය යටතේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය ICU එකේ ඉන්න ආර්ථිකය නමැති ලෙඩාව ICU එකෙන් සාමාන්‍ය වාට්ටවුකටත් ‌ගෙන එන පරිදි අනුගමනය කරන ප

විමල් වීරවංශගේ නිල ෆේස්බුක් පිටුව | අප්‍රේල් 3, 2023

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුළු අපනයන ආදායම 10% න් අඩු වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF සංවිධානයේ) මාර්ගෝපදේශකත්වය යටතේ රජය අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය ඵලදායි නොවන බව පා.ම. වීරවංශ සිය ප්‍රකාශය තුළින් සඳහන් කරයි. 

2023 ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම (වටිනාකම අතින්) 2022 දී එම කාල සීමාව හා සසඳන විට 10% න් (හරියටම කිවහොත් 10.7% න්) අඩු වී ඇති බව සඳහන් කිරීම නිවැරදි ය. 

IMF වැඩසටහන ආර්ථිකයට පිළියමක් ලබා නොදෙන බව නිගමනය කිරීමට පදනම ලෙස පා.ම. යොදා ගන්නේ අපනයන ආදායම අඩුවීමයි. හේතු තුනක් නිසාවෙන් එම කරුණ සත්‍යයෙන් තොර වේ. 

පළමුව, IMF  වැඩසටහනක ඵලදායි බව ඇගයීමේ නිර්ණායකයක් ලෙස අපනයන ආදායමේ වර්ධනය භාවිතා කිරීම අසාමාන්‍ය මෙන්ම පදනම් විරහිත වූ දපියවරක් වන අතර එය පා.ම. විසින් තම අභිමතය පරිදි යොදා ගත්තකි. එවැනි වැඩසටහන් සඳහා වඩාත් අදාළ වන නිර්ණායක වන්නේ උද්ධමනය, පොලී අනුපාත, රාජ්‍ය මූල්‍ය හිඟය, සංචිත යනාදි සාර්ව ආර්ථිකයේ ස්ථායිතාව පෙන්නුම් කරන විචල්‍යයන් යහපත් අතට හැරී ඇත් ද යන්න තක්සේරු කිරීමයි. එම විචල්‍යයන් සියල්ල 2023 ජනවාරි සහ පෙබරවාරි මාසවල (පා.ම. උපුටා දක්වන කාලය තුළ) යහපත් අතට හැරී ඇත. 

දෙවනුව, පා.ම. සඳහන් කර ඇති හේතුව සහ ඵලයට අදාළ කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් නොගැලපීමක් ඇත. IMF වැඩසටහනට නිලධාරි මට්ටමේ එකඟතාව හිමි වූයේ 2022 සැප්තැම්බර් මාසයේදී වන අතර ඊට මාණ්ඩලික මට්ටමේ අනුමැතිය හිමි වූයේ 2023 මාර්තු මාසයේ දී ය. එබැවින්, එම වැඩසටහන තවම මුල් අවධියේ පසු වේ. අප්‍රේල් මස අවසන් වන විට පවා එම වැඩසටහන සම්බන්ධයෙන් එකඟ වූ ක්‍රියාමාර්ගවලින් මෙතෙක් සම්පූර්ණ නොකළ ක්‍රියාමාර්ග තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉතිරිව පවතී (IMF ට්‍රැකරය බලන්න: https://manthri.lk/en/imf_tracker). එය 2027 පෙබරවාරි මාසය දක්වා වසර හතරක් පුරා දිවෙන වැඩසටහනකි. එනමුත්, පා.ම. 2023 ජනවාරි සහ පෙබරවාරි මාසවල දක්නට ලැබුණු ප්‍රතිඵලයක් එම වැඩසටහනේ ඵලදායිතාව තීන්දු කරන්නක් වශයෙන් තම අභිමතය පරිදි තෝරා ගෙන ඇති අතර එය පදනම් විරහිත ද වේ 

තෙවනුව, ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය අපනයන පරිමාව මත පදනම්ව ද ඇගයීමට ලක් කළ හැකි වුව ද අපනයන ආදායම අපනයන පරිමාව මෙන්ම මිල ගණන් මත ද රඳා පවතී. 2010 පදනම් වර්ෂය ලෙස යොදා ගනිමින් මහ බැංකුව විසින් අපනයන සඳහා මාසික පරිමා දර්ශකයක් කරනු ලැබේ. 2022 වසරේ එම කාලයට සාපේක්ෂව 2023 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන පරිමාව 6.5% න් ඉහළ ගොස් ඇති බව ඉන් පෙන්නුම් කරන අතර එම අවස්ථාවේදී ආදායම අඩු වීම මගින් මිල ගණන් පහත වැටුණු බවක් හඟවයි. මෙහිදී අපනයන ආදායම අඩුවීම පිළිබඳව පා.ම. නිවැරදි අගයන් ගෙන දක්වයි. 

එනමුත්, එමගින් IMF වැඩසටහන යටතේ අනුගමනය කරනුබන ප්‍රතිපත්ති ඵලදායි නොවන බවක් පෙන්නුම් කරන්නේ යැයි පා.ම. සිදු කළ ප්‍රකාශය ඉහත දැක්වූ කරුණු හේතුවෙන් සත්‍යතාවයෙන් තොර වේ. එබැවින්, අපි පා.ම. වීරවංශගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.  

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අතිරේක සටහන: යම් කිසි රටක අපනයන ආදායමේ කාර්ය සාධනය ඇගයීමේදී එය බාහිර ප්‍රවණතා සමඟ සංසන්දනය කිරීමෙන් ද ඒ පිළිබඳව වඩා පුළුල් දැනුමක් ලබා ගත හැකි වනු ඇත. නිදසුන් වශයෙන්, FactCheck.lk විසින් 2022 සිව්වන කාර්තුවේ දී සමස්තයක් වශයෙන් ලෝකයේත් ආසියාවේත් අපනයන ආදායමේ සිදු වූ අඩු වැඩිවීම්, ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ සිදු වූ අඩු වැඩිවීම් සමඟ සංසන්දනය කරන ලදි. ලබා ගත හැකි නවතම ගෝලීය වෙළඳ දත්තවලට අදාළ කාල වකවානුව සඳහා මෙම සංසන්දනය සිදු කර ඇත. 

2021 වසරේ අවසාන කාර්තුවට සාපේක්ෂව 2022 එම කාර්තුවේදී ඇඟලුම් අපනයනය ගෝලීයව 9% න් පහත වැටුණු බවත්, එය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයේ පහත වැටීමට ද සමාන බවත් (ආසන්න වශයෙන් -10%) අංක 1 වගුවෙන් පෙනී යයි. ඇඟලුම් අංශය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් ආසන්න වශයෙන් 40% ට හිමිකම් කියයි. මෙම කාලය තුළ ආසියාවේ අපනයනයන් 5.7% න් ද, ගෝලීය අපනයනයන් 0.1% න් ද පහත වැටුණු නමුත් ඇඟලුම් වැනි වඩා වැඩි පහත වැටීමක් සිදු වූ අංශයන් හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ මුළු අපනයන මීට වඩා වේගයෙන් පහත වැටුණි (12.5% න්). 

අංක 1 වගුව: කලාපීය සහ ගෝලීය අපනයන ආදායමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම. 

මූලාශ්‍රය:වෙළඳ හා සංවර්ධන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) ගෝලීය වෙළඳාම පිළිබඳව 2023 මාර්තු මස පළ කළ වාර්තාව

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහැ බැංකුවේ බාහිර අංශයේ සංඛ්‍යාලේඛන: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector [අවසන් වරට ප්‍රවේශය: 2023 මැයි 03]

IMF සංවිධානයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය සහ දරිද්‍රතාවය අවම කිරීම: https://www.imf.org/external/pubs/ft/exrp/macropol/eng/  [අවසන් වරට ප්‍රවේශය: 2023 මැයි 03]

ලෝක වෙළඳ සංවිධානයේ (World Trade Organisation – WTO) සංඛ්‍යාලේඛන: https://stats.wto.org/ [අවසන් වරට ප්‍රවේශය: 2023 මැයි 03]

වෙළඳ හා සංවර්ධන කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) ගෝලීය වෙළඳාම පිළිබඳව 2023 මාර්තු මස පළ කළ වාර්තාව: https://unctad.org/publication/global-trade-update-march-2023  [අවසන් වරට ප්‍රවේශය: 2023 මැයි 03]

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.