නන්දලාල් වීරසිංහ

අච්චු ගහපු සල්ලි ගැන මහ බැංකු අධිපති ඇත්ත ඇති සැටියෙන් කියයි

"

2021 දී මුද්‍රණය කරන ලද මුළු පදනම් මුදල් ප්‍රමාණය රු. බිලියන 344 ක් වූ අතර, 2022 දී ශුද්ධ පදනම මත නිකුත් කරන ලද සංචිත මුදල් ප්‍රමාණය රු . බිලියන 40 ට වඩා අඩු අගයක් විය.

ඩේලි FT | පෙබරවාරි 11, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

වැඩි වැඩියෙන් මුදල් මුද්‍රණය කිරීම නිසා ශ්‍රී ලංකාව තුළ උද්ධමනය ආශ්‍රිතව ගොඩනැඟී ඇති පීඩනය සම්බන්ධයෙන් පැන නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 2021 ට සාපේක්ෂව 2022 දී අඩු මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවයි. 

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය තුළ රටේ මුද්‍රණය කරන ලද මුදල්යනුවෙන් පැවසීමේදී සංචිත මුදල්ප්‍රමාණයෙහි සිදු වූ වෙනස යන්න ඔහු විසින් අදහස් කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෘජු ලෙස රාජ්‍ය ණය මූල්‍යකරණය කිරීමේ දී සංසරණයේ පවතින පදනම් මුදල් ප්‍රමාණය ඉහළ යන බැවින් එම ක්‍රියාවලිය පොදු භාවිතයේ දී “මුදල් මුද්‍රණය කිරීම” ලෙස හැඳින් වේ. කෙසේ වෙතත්, පදනම් මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමට අවශ්‍ය වේ නම් මෙය ඒ සඳහා පවතින එකම යාන්ත්‍රණය ද නොවේ. විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් (ද්විතියික වෙළෙඳපොළ තුළ සුරැකුම්පත් මිලදී ගැනීම සහ අලෙවි කිරීම), විදේශ වත්කම් මිලදී ගැනීම සහ මහ බැංකුවේ ශුද්ධ වත්කම්වල සිදු වන වෙනස්වීම් මගින් පදනම් මුදල් ප්‍රමාණය වෙනස් කරනු ලැබේ. ඉහත සඳහන් සියලු වෙනස්වීම්වල එකතුව “සංචිත මුදල්” ප්‍රමාණයෙහි සිදු වූ වෙනසට සම වන අතර, ඒ හේතුවෙන් එය පදනම් මුදල් ප්‍රමාණයේ වැඩි වීම දැක්වීම සඳහා යොදා ගත හැකි සමස්ත නිවැරදි දර්ශකය බවට පත් වේ (“මුදල් මුද්‍රණය කිරීම” ලෙස හඳුන්වනු ලබන්නේ ද මෙම වෙනසයි). 

මහ බැංකුවේ දත්තවලට අනුව 2021 දී සංචිත මුදල් රුපියල් බිලියන 341 න් වැඩි වී ඇති අතර 2022 දී එය වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 44 න් පමණි. මෙම රුපියල් බිලියන 44 ක අගය මහ බැංකු අධිපති විසින් “මුද්‍රණය කරන ලද මුදල්” ප්‍රමාණය ලෙස දක්වා ඇති මුදලට ආසන්න අගයකි. 

මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ වඩාත්ම ප්‍රචලිතව ඇති වැටහීම වන්නේ ඉන් මහ බැංකුව විසින් සෘජුව මූල්‍යකරණය කෙරෙන රාජ්‍ය ණය ප්‍රමාණය අදහස් කෙරෙන බවයි. මහ බැංකුව විසින් සෘජුව මූල්‍යකරණය කරන ලද රාජ්‍ය ණය ප්‍රමාණය 2022 දී රුපියල් බිලියන 1,181 න් වැඩි වී ඇති අතර එය 2021 දී වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 692 න් පමණි. එනමුත්, 2022 දී පදනම් මුදල් ප්‍රමාණය වැඩි කිරීමේ මෙම ක්‍රමවේදය වැඩි වශයෙන් භාවිතා වුව ද, ශුද්ධ විදේශ වත්කම් සහ විවෘත වෙළඳපොළ මෙහෙයුම් ආදි අනෙකුත් ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්තයක් ලෙස 2022 දී පදනම් මුදල් ප්‍රමාණයේ අඩු වීමක් සිදු වී ඇත. 

සමස්තයක් වශයෙන් ගත් ක, පදනම් මුදල් ප්‍රමාණයෙහි සිදු වූ ශුද්ධ වැඩි වීම, 2022 දී “මුද්‍රණය කරන ලද” මුදල් ප්‍රමාණය වශයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් ගෙන හැර දැක්වීම නිවැරදි වේ. එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  

අංක 1 වගුව: මහ බැංකු ශේෂ පත්‍රයේ දක්වා ඇති සමස්තයන්ගේ වටිනාකම වෙනස් වී ඇති අයුරු (රු. බිලියන) 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව 

අතිරේක සටහන: 

උද්ධමනය සහ මුදල් සැපයුම අතර සමගාමී සම්බන්ධයක් පවතින බව මුදල් පිළිබඳ ප්‍රමාණාත්මක න්‍යාය හඟවයි. එබැවින්, පදනම් මුදල් වැඩි කළ විට (මහ බැංකුව විසින් “මුදල් මුද්‍රණය කරනු ලැබීම), එමගින් යම් ආර්ථිකයක උද්ධමනය වැඩි කෙරෙන බවට පොදු විශ්වාසයක් පවතී.  

මුදල් සැපයුම මැනීම සඳහා විවිධ සමස්තයන් (aggregates) කිහිපයක් යොදා ගත හැක (වැඩි විස්තර: https://bit.ly/3L7DwtD ) ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම මැනීමභාවිතා කරන සාමාන්‍ය දර්ශකය වන්නේ පුළුල් මුදල් සැපයුමයි ( Broad Money – M2b). මහජනතාව සතු මුදල් නෝට්ටු සහ කාසි, වාණිජ සහ මහ බැංකු සතු තැන්පතු මීට ඇතුළත් වේ. වෙළඳපොළට වැඩි මුදල් නෝට්ටු ප්‍රමාණයක් නිකුත් කිරීම හරහා (සංචිත/පදනම් මුදල්වල සිදු වන වෙනස්වීම හරහා මෙය මනිනු ලැබේ), හෝ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio – SRR) වෙනස් කිරීම මගින් හෝ මහ බැංකුවට මුදල් සැපයුම වෙනස් කළ හැක. වාණිජ බැංකු විසින් ණය දීම සඳහා හෝ ආයෝජනය සඳහා හෝ යොදා නොගෙන රඳවා ගත යුතු, සංචිත ලෙස පවත්වා ගත හැකි වගකීම් කොටස  ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නම් වේ. 

එබැවින්, සංචිත මුදල් ප්‍රමාණය 2021 දී වැඩි වූප්‍රමාණයෙන්ම 2022 දී වැඩි නොවුව ද, 2021 දීරුපියල් බිලියන 1,241 ක් දක්වා ඉහළ ගිය මුදල් සැපයුම (M2b), 2022 දී රුපියල් බිලියන 1,649 දක්වා තවත් ඉහළගොස් ඇත. රජය විසින් නිකුත් කරන ලද මුදල් ප්‍රමාණය අඩු කළ ද, ඊට සමගාමීව 2022 දී උද්ධමනය අඩු වී නොමැත. 

කෙසේ වෙතත්, උද්ධමනය පාලනය කිරීම සඳහා යොදා ගත හැකි එකම උපකරණය මුදල් සැපයුම පමණක්ම නොවේ. උද්ධමනය පාලනය කිරීමේ උපකරණය ලෙස පොලී අනුපාත භාවිතා කිරීමට නූතන මහ බැංකු වඩාත් කැමැත්තක් දක්වයි. 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, දත්ත ගබඩාව, https://www.cbsl.lk/eresearch/  [අවසන් වරට ප්‍රවේශය: 2023 අප්‍රේල් 26]

මුදල් ප්රතිපත්තියනිතර අසන ප්රශ්න | ශ්රී ලංකා මහ බැංකුව (cbsl.gov.lk)  [අවසන් වරට ප්‍රවේශය: 2023 අප්‍රේල් 26]

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.