සුසිල් ප්‍රේමජයන්ත

IMF ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ගැන ඇමති ප්‍රේමජයන්ත අකාර්යක්ෂමයි

"

වෙනදාට IMF එකට ගියාම කොන්දේසි ඉටු කරන්නම් කියලා තමයි අපි මුදල් ලබා ගත්තේ...මේ සැරේ මොකද්ද වුණේ කොන්දේසි ඉටු කරලා යන්න වුණා සහයෝගය ලබා ගන්න...මාස 7 ක් යන කොට ලංකාවට විතරයි පුළුවන්කම ලැබුණේ මේ ආකාරයෙන් ඒ [IMF] සහයෝගය ලබාගන්න.

පාර්ලිමේන්තු YouTube නාලිකාව | මාර්තු 21, 2023

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය තුළින් කරුණු දෙකක් ඉදිරිපත් කරයි. (1) ශ්‍රී ලංකාව මීට පෙර අවතීර්ණ වූ IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) වැඩසටහන් සැලකූ විට, එකී වැඩසටහන්වලට අදාළ කාර්යයන් අරමුදල් ලැබීමෙන් පසුව සම්පූර්ණ කරන ලද නමුදු, වත්මන් වැඩසටහන සැලකූ විට ඊට අවතීර්ණ වීමට පෙර ශ්‍රී ලංකාව එම වැඩසටහනට අදාළ කාර්යයන් සම්පූර්ණ කිරීම අවශ්‍ය වූ බව, සහ (2) මාස 7ක් ඇතුළත IMF සංවිධානය සමඟ ගිවිසුමකට එළැඹුණු ශ්‍රී ලංකාව කැපී පෙනෙන තරම් කෙටි කාලයකදී එම ගිවිසුමට එළැඹුණු බව [නිලධාරි මට්ටමේ එකඟතාවෙන් පසු]. 

පළමු කරුණ සම්බන්ධයෙන්: මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2016 සහ 2009 දී ශ්‍රී ලංකාව අවතීර්ණ වූ IMF වැඩසටහන් දෙකෙහි අභිප්‍රාය ප්‍රකාශ කරන ලද ලිපි (Letters of Intent) පරිශීලනය කරන ලදි. IMF සංවිධානය සහ ශ්‍රී ලංකාව අන්‍යොන්‍ය වශයෙන් එකඟ වූ, වැඩසටහනට අදාළ වගකීම් (කොන්දේසි/ක්‍රියාමාර්ග) මෙම ලිපිවලට ඇතුළත් කර තිබේ. 

2016 දී ශ්‍රී ලංකාව අවතීර්ණ වූ IMF වැඩසටහනට ඊට අදාළ පූර්ව-කාර්යයන් 4 ක් (වැඩසටහන ආරම්භ කිරීමට පෙර ඉටු කළ යුතු කාර්යයන්) සහ ව්‍යුහාත්මක මිණුම් සලකුණු 19 ක් (අරමුදල් ලබා දීම ආරම්භ කිරීමෙන් පසු ඉටු කළ යුතු කාර්යයන්) ඇතුළත්ව තිබිණි. එසේම, 2009 වැඩසටහනට පූර්වකාර්යයන් 6 ක් සහ ව්‍යුහාත්මක මිණුම් සලකුණු 8 ක් ඇතුළත්ව තිබිණි. මෙම වැඩසටහන් දෙකේදීම IMF මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමට පෙර වැඩසටහන්වලට අදාළ පූර්ව-කාර්යයන් ඉටු කර තිබූ බව අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපිවලින් පෙනී යයි. එබැවින්, පූර්ව-කාර්යයන් ඇතුළත් වීම සම්බන්ධයෙන් වත්මන් වැඩසටහන පෙර වැඩසටහනින් වෙනස් වන බව අමාත්‍යවරයා සඳහන් කළ පළමු කරුණ නිවැරදි නොවේ. 

දෙවැනි කරුණ සම්බන්ධයෙන්: ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පරිච්ඡේදයන්ට එළැඹුණු සියලු රටවල් සැලකූ විට, ඉන් අඩකට නිලධාරි මට්ටමේ එකඟතාවට එළැඹීමෙන් පසු දින 46 ක් ඇතුළත මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමට හැකි වූ බවත්, අන් බොහෝ රටවල් දින 100 ට අඩු කාලයක් ඒ සඳහා ගෙන ඇති බවත් අංක 1 ප්‍රස්තාරයෙන් පෙනී යයි. මීට සාපේක්ෂව, ශ්‍රී ලංකාව මේ සඳහා දින 200 ක් ගෙන ඇත (මාස 7ක් පමණ). මේ හේතුවෙන් අමාත්‍යවරයා පැවසූ දෙවැනි කරුණ ද නිවැරදි නොවේ. 

සමස්තයක් ලෙස ගත් කළ, වත්මන් IMF වැඩසටහනට අවතීර්ණ වීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සුවිශේෂී ලෙස කාර්යක්‍ෂම වී ඇතැයි යන තර්කය අමාත්‍යවරයා මෙහිදී ඉදිරිපත් කරයි. එනමුත්, මෙම තර්කය වෙනුවෙන් ඔහු විසින් සඳහන් කෙරෙන කරුණු දෙකම නිවැරදි නොවේ. තව ද, IMF වැඩසටහනකට එළැඹීමට ගත් කාලය සැලකූ විට, අනෙකුත් රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව සිටින්නේ කෙටිම කාලයක් ගත් රටවල් (තර්ක කර ඇති පරිදි) අතර නොව, වැඩිම කාලයක් ගත් රටවල් අතර ය. එබැවින්, අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අංක 1 ප්‍රස්තාරය: ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යොමු වූ රටවල් අතර නිලධාරි මට්ටමේ එකඟතාවයේ සිට මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීම තෙක් ගත වූ කාලය 



මූලාශ්‍රය

https://www.veriteresearch.org/publication/issue-2-17-march-2023-verite-research-debt-update/  [අවසන් වරට ප්‍රවේශය: 2023 අප්‍රේල් 19]

https://www.imf.org/en/Publications/CR/Issues/2016/12/31/Sri-Lanka-Staff-Report-for-the-2016-Article-IV-Consultation-and-Request-for-a-Three-Year-43960  [අවසන් වරට ප්‍රවේශය: 2023 අප්‍රේල් 19]

https://www.imf.org/en/Publications/CR/Issues/2016/12/31/Sri-Lanka-Request-for-Stand-By-Arrangement-Staff-Report-Staff-Supplements-Press-Release-on-23388  [අවසන් වරට ප්‍රවේශය: 2023 අප්‍රේල් 19]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.