රංජිත් සියඹලාපිටිය

මද්‍යසාර සහ දුම්කොළ බදු ගැන පා.ම. සියඹලාපිටියගෙන් මත් නොවුණු ප්‍රකාශයක්!

"

2021 වසරේ සමස්ත බදු ආදායමින් 19%ක් දුම්කොළ සහ මද්‍යසාරවලින් ලැබී තිබිණි.

ඩේලි නිව්ස් | සැප්තැම්බර් 21, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

දුම්කොළ සහ මද්‍යසාර මත දැනට රජය විසින් නිෂ්පාදන බදු සහ එකතු කළ අගය මත බද්ද (වැට්) අය කරනු ලැබේ.

පා.ම. විසින් සඳහන් කරන ලද කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් දුම්වැටි සහ මද්‍යාසාර (මත්පැන්) සඳහා වන නිෂ්පාදන බද්ද පිළිබඳ විස්තර ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවත් දුම්වැටි සඳහා ගෙවන ලද වැට් බද්ද පිළිබඳ විස්තර ලබා ගැනීම සඳහා ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවත් පරිශීලනය කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවෙහි මද්‍යසාර මත වන වැට් බදු ආදායම වාර්තා කර ඇත්තේ 2018 දක්වා පමණි. එබැවින්, දුම්වැටි කර්මාන්තයේ මුළු විකුණුම් අගයෙහි වර්ධනය පදනම් කර ගනිමින්, 15% සිට 8% දක්වා පහත දමන ලද වැට් බදු අනුපාතයේ බලපෑම ද ඊට ඇතුළත් කර, 2021 සඳහා වන බදු ආදායම ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව, 2021 වසරේ  දුම්වැටි සහ මත්පැන් සඳහා වන නිෂ්පාදන බදුවලින් උපයන ලද බදු ආදායම පිළිවෙලින් රුපියල් බිලියන 88.6 ක් සහ රුපියල් බිලියන 138.6 ක් වේ. 2021 වසරේ දී ඇස්තමේන්තුගත වැට් බදු ආදායම රුපියල් බිලියන 22.4 ක් වන අතර එමගින් මෙම නිෂ්පාදන හරහා උපයනු ලබන සමස්ත පරිභෝජන බදු ආදායම රුපියල් බිලියන 249.6 දක්වා වැඩි කෙරේ.

2021 දී රජය විසින් එකතු කරන ලද මුළු බදු ආදායම රුපියල් බිලියන 1,298 කි. එබැවින්, දුම්කොළ සහ මද්‍යසාරවලින් එකතු කරන ලද සමස්ත පරිභෝජන බදු ආදායම 2021 දී එකතු කරන ලද මුළු බදු ආදායමින් 19.2% කි. මෙය පා.ම.ගේ ප්‍රකාශයට අනුකූල වේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරමු .

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

ප්‍රදර්ශිතය 1: රජයේ බදු ආදායම (රු. මිලියනවලින්)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව, ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව

 

අතිරේක සටහන 1 : 2017 දී 14.2% ක්ව පැවති දුම්කොළ සහ මද්‍යසාරවලින් එකතු කරන ලද බදු ආදායම් කොටස, 2021 දී 19.2% දක්වා වැඩි වී ඇත. කෙසේ වෙතත්, දුම්කොළ සහ මද්‍යසාර සඳහා වූ බදු සැබවින්ම වැඩි වී ඇත්තේ 5.3% න් පමණි. රජයේ මුළු බදු ආදායම 22% කින් අඩුවීම, දුම්වැටි සහ මද්‍යසාර මත වන බදු කොටසේ වැඩිවීමට හේතු වී ඇත. දුම්කොළ සහ මද්‍යසාර හරහා උපයන ලද බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව මෙන්ම දුම්කොළ සහ මද්‍යසාරවල පරිභෝජන පිරිවැයට සාපේක්ෂව ද පහළ ගොස් ඇති බව දත්ත මගින් පෙන්නුම් කෙරේ. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස 2017 දී 1.8% ක්ව පැවති දුම්කොළ සහ මද්‍යසාර වෙතින් උපයන ලද බදු ආදායම, 2021 දී දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස 1.5% දක්වා අඩු වී ඇත. එමෙන්ම, 2017 දී ද්‍යසාර පාන, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය වෙතින් උපයන ලද බදු ආදායම ඒ සඳහා වන මුළු පුද්ගලික පරිභෝජන වියදමේ කොටසක් ලෙස 78.0% ක්ව පැවති අතර එය 2021 දී 62.8% දක්වා අඩු වී ඇත.

අමතර සටහන 2 : දුම්කොළ සහ මද්‍යසාර සමාගම් ආදායම් බදු ද ගෙවන නමුත් එය භාණ්ඩයේ විකුණුම මත ඍජුව අය නොකෙරෙන බැවින් මෙම කරුණු පිරික්සීමේදී එය සැලකිල්ලට ගෙන නොමැත. මීට අමතරව, දුම්කොළ නිෂ්පාදකයින් විසින් ද දුම්කොළ බද්දක් (රුපියල් මිලියන 15 ක) ගෙවනු ලැබේ. කෙසේ වෙතත්, මෙම විශ්ලේෂණයේ අරමුණු මත එය සැලකිය යුතු මට්ටමේ බලපෑමක් ඇති නොකරයි.



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව (2021), ප්‍රවේශය:
https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2022 සැප්තැම්බර් 30]

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වාර්ෂික වාර්තාව (විවිධ වර්ෂයන් සඳහා), ප්‍රවේශය:

http://www.ird.gov.lk/en/publications/sitepages/Annual%20Performance%20Report.aspx?menuid=1501 [අවසන් වරට ප්‍රවේශය: 2022 සැප්තැම්බර් 30]

ලංකා දුම්කොළ සමාගම, වාර්ෂික වාර්තාව (විවිධ වර්ෂයන් සඳහා), ප්‍රවේශය:

https://www.ceylontobaccocompany.com/group/sites/SRI_9PMJN9.nsf/vwPagesWebLive/DOBJBG7K?opendocument [අවසන් වරට ප්‍රවේශය:  2022 සැප්තැම්බර් 30]

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.