මහින්දානන්ද අලුත්ගමගේ

වැරදුණු රජයේ වාර්තාව පා.ම. මහින්දානන්ද නොමඟ යවයි

"

2021 අවුරුද්දේ ආදායම් ලිපිගොනු තියෙන්නේ 507,000. මේකෙත් 292,000 ක් තනි පුද්ගල, 68,000 ක් සමාගම්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | සැප්තැම්බර් 8, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ තම ප්‍රකාශය තුළින් කරුණු 3ක් ඉදිරිපත් කර ඇති බවට FactCheck.lk විසින් අර්ථකථනය කර ඇත. එනම්, 2021 වර්ෂයේදී (1) ලියාපදිංචි වී සිටි බදු ගෙවන්නන් සංඛ්‍යාව 507,000 ක් වූ බව, (2) ඉන් 68,000 ක් සමාගම් වූ බව සහ (3) 292,000 ක් තනි පුද්ගලයින් බව.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය ඇගැයීමේදී, FactCheck.lk විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (Inland Revenue Department) වාර්ෂික කාර්ය සාධන වාර්තා පරිශීලනය කර ඇත.

මෙහි සඳහන් පළමු කරුණ ගත් විට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2021 සඳහා වන කාර්ය සාධන වාර්තාවේ 2.13 වගුවෙහි සඳහන් කර ඇති පරිදි “මුළු බදු ගෙවන්නන් සංඛ්‍යාව” 507,095 ක් වන අතර එය පා.ම. විසින් සඳහන් කරන ලද සංඛ්‍යාව සමඟ සමපාත වේ (ප්‍රදර්ශිතය 1). කෙසේ වෙතත්, මෙම වාර්තාව තුළ මුළු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව දැක්වීමේදී දෝෂයක් සිදු වී තිබේ. එනම්, මෙම වාර්තාව තුළින් දැක්විය යුත්තේ බදු ගෙවන්නන් සංඛ්‍යාව වුව ද ඒ වෙනුවට එහි දක්වා ඇත්තේ මුළු බදු ගොනු සංඛ්‍යාවයි. එහෙත්, මෙම අගයන් දෙක සඳහා ඇත්තේ එකිනෙකට වෙනස් වූ අර්ථයන් දෙකකි.

ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව යන්නෙන් අදහස් කරනු ලබන්නේ බදු ගෙවීමට ලියාපදිංචි වී ඇති ඒකක සංඛ්‍යාවයි (තනි පුද්ගල හෝ සංස්ථාපිත). එහෙත්, මුළු බදු ගොනු සංඛ්‍යාව යනු විවිධ වර්ගයේ බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු කර ඇති ලියාපදිංචි කිරීම් සංඛ්‍යාවයි. එක් බදු ගෙවන්නකුහට (තනි පුද්ගල හෝ සංස්ථාපිත) බදු වර්ග කිහිපයක් සඳහා ලියාපදිංචි වීමේ අවශ්‍යතාව තිබිය හැකි අතර ඒ හේතුවෙන් බදු ගොනු සංඛ්‍යාව (ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව) බදු ගෙවන්නන් සංඛ්‍යාව ඉක්මවනු ඇත. උදාහරණයක් ලෙස, යම් සමාගමක් සංස්ථාපිත ආදායම් බදු සහ එකතු කළ අගය මත බද්ද (VAT) යන බදු දෙවර්ගය සඳහාම ලියාපදිංචි කරනු ලබන අවස්ථාවක් සලකමු. මෙම අවස්ථාවට සම්බන්ධව ඇත්තේ එක් බදු ගෙවන්නෙක් පමණක් වුව ද එය එකිනෙකට වෙනස් ලියාපදිංචි කිරීම් දෙකක් (බදු ගොනු දෙකක්) ලෙස සැලකේ.

කාර්ය සාධන වාර්තාවෙහි බදු ගොනු සංඛ්‍යාව දක්වන නමුදු, ඒ තුළ මුළු බදු ගොනු සංඛ්‍යාව දක්වන තීරුව “මුළු බදු ගෙවන්නන් සංඛ්‍යාව” යනුවෙන් නිරවද්‍ය නොවන අයුරින් නම් කර ඇත. තව ද, මෙම වාර්තාවෙහි සියලුම භාෂා අනුවාදවල (ඉංග්‍රීසි, සිංහල සහ දමිළ) මෙම දෝෂය දක්නට ලැබේ. මේ අනුව, ලියාපදිංචිවී ඇති බදු ගෙවන්නන් සංඛ්‍යාව 507,000 ක් වන බවට පා.ම. අලුත්ගමගේ සිදු කළ ප්‍රකාශය කාර්ය සාධන වාර්තාව හා සැසඳෙන නමුත් එම කරුණ දෝෂසහගත වේ.

මෙහි සඳහන් දෙවැනි සහ තෙවැනි කරුණු සැලකූ විට, සංස්ථාපිත බදු ගෙවන්නන් සංඛ්‍යාව 68,000 ක් වන බවටත් තනි පුද්ගල බදු ගෙවන්නන් සංඛ්‍යාව 292,000 ක් වන බවටත් පා.ම. අලුත්ගමගේ විසින් උපුටා දක්වන ලද අගයන්, ඒ සඳහා වාර්තා කර ඇති අගයන් සමඟ සමපාත වන බව කාර්ය සාධන වාර්තාව තහවුරු කරයි (ප්‍රදර්ශිතය 1). ඒ අනුව, කාර්ය සාධක වාර්තාවෙහි ඇතුළත් සියලුම සංඛ්‍යාවන් පා.ම. විසින් නිවැරදිව උපුටා දක්වා ඇති නමුත් ඔහු විසින් උපුටා දක්වන ලද එක් අගයක් කාර්ය සාධන වාර්තාව තුළ නිවැරදි නොවන අයුරින් නම් කර ඇත.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* *FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

ප්‍රදර්ශිතය 1: 2021 සඳහා මුළු බදු ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව (බදු ගොනු සංඛ්‍යාව)

මූලාශ්‍රය:දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2021 සඳහා වන කාර්ය සාධන වාර්තාව



මූලාශ්‍රය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2021 සඳහා වන කාර්ය සාධන වාර්තාව, ප්‍රවේශය:

http://www.ird.gov.lk/en/publications/Annual%20Performance%20Report_Documents/IR_PR_2021_E.pdf [අවසන් වරට ප්‍රවේශ: 2022 ඔක්තෝම්බර් 13]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.