රනිල් වික්‍රමසිංහ

ජනාධිපති වික්‍රමසිංහ රජයේ ඉඩම් අයිතිය ගැන හරි පාරේ

"

ඉඩම්වලින් සියයට 80 ක පමණ හිමිකරු රජය වන අතර දේශීය හා විදේශීය ආයෝජන සඳහා සුදුසු උපයෝගිතා සහිතව ඉඩම් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගනු ලබනවා.

අතුරු අයවැය කතාව (2022) | අගෝස්තු 30, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ජනාධිපති වික්‍රමසිංහ මෙම ප්‍රකාශය තුළින් කරුණු දෙකක් මතු කරයි. එම කරුණු දෙක නම්, ( i ) මුළු භූමි ප්‍රමාණයෙන් දළ වශයෙන් 80%ක් රජය සතු වන බවත්, (ii) ආයෝජන කටයුතු අරබයා ඉඩම් වෙන් කිරීමට රජයට හැකියාව ඇති බවත් ය. මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් ලෝක බැංකුවේ (WB) සහ වන විනාශය හා වන හායනය අවම කිරීම තුළින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ (UN-REDD වැඩසටහන) වාර්තා පරිශීලනය කර ඇත.

මින් පළමු කරුණ සැලකීමේදී, රජය සතු භූමි ප්‍රමාණය 85.8% ක් බව 2001 ලෝක බැංකු දත්ත මගින් දැක්වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් 2016 වර්ෂයේ UN-REDD වැඩසටහනේ වාර්තාවක් සඳහන් කර ඇත්තේ රජය සතු ඉඩම් ප්‍රමාණය 82.25% ක් බවයි. එබැවින්, පවතින දත්තවල රජය සතු ඉඩම් ලෙස දක්වා ඇති භූමි ප්‍රමාණය අවම වශයෙන් 80% ක් වන බැවින්, ඉහත සඳහන් පළමු කරුණ නිවැරදි වේ.

රජය සතු ඉඩම් සංවිධාන කිහිපයක් අතර බෙදාහැරෙන අතරම අරමුණු කිහිපයක් සඳහා ද භාවිතා කෙරෙන බව දෙවැනි කරුණ සැලකීමේදී පෙනී යයි. ( i ) පෞද්ගලික මට්ටමින් ගොවිතැන් කරන ගොවීන් හට සහ වැවිලි සමාගම්වලට, මූලික වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය හරහා බදු දී ඇති ඉඩම්; (ii) වනාන්තර, උද්‍යාන, ආරක්ෂිත ප්‍රදේශ සහ රක්ෂිත; (iii) රජය සතු නාගරික ඉඩම් මීට ඇතුළත් වන සමහරකි.

ඉඩම් පරිහරණය පිළිබඳ අපට ලබා ගත හැකි වූ නවතම දත්ත 2001 දී ලෝක බැංකුව වෙතින් ලබා ගත හැකි වූ දත්ත විය. 2001 දී පවා, පෞද්ගලික මට්ටමින් ගොවිතැන් කළ ගොවීන්ගේ භාවිතය සඳහා මුළු ඉඩම්වලින් 21% ක් රජය විසින් බදු දී ඇත. මිට අමතරව, 2010 දී මුළු භූමි ප්‍රමාණයෙන් 30.2%ක් රජය සතු වනාන්තර වූ බව UN-REDD වාර්තාව පෙන්වා දේ. බදු දී ඇති ඉඩම් මෙන්ම වනාන්තර ඉඩම් ද පහසුවෙන් ආයෝජන කටයුතු සඳහා වෙන් කළ නොහැක. එබැවින්, ආරක්ෂිත ප්‍රදේශ සහ රක්ෂිත සැලකිල්ලට නොගත්ත ද, රජයට 31% ක ට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වෙත පහසුවෙන් සහ ක්ෂණිකව ප්‍රවේශය ලබා දිය නොහැකි බව මෙම දත්ත මගින් හැඟී යයි. කෙසේ වෙතත්, ආයෝජන කටයුතු සඳහා වෙන් කළ හැකි රජයේ ඉඩම් ප්‍රතිශතය කොපමණ දැයි ජනාධිපතිවරයා සඳහන් නොකරයි. 80% ක රජය සතු මුළු භූමි ප්‍රමාණය නොවුව ද යම් භූමි ප්‍රමාණයක් හෝ ආයෝජන කටයුතු සඳහා ලබා දීමට රජයට හැකියාවක් ඇති බැවින් ඉහත දෙවැනි කරුණ පසුපස ඇති අදහස නිවැරදි වේ.

එබැවින්, ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

ප්‍රදර්ශිතය 1: ඉඩම් අයිතිය සහ භාවිතය (ලෝක බැංකුව, 2001)

මූලාශ්‍රය: ලෝක බැංකුව 2001



මූලාශ්‍රය

ශ්‍රී ලංකාවේ යෝජිත ජාතික REDD+ උපායමාර්ගයේ ඉඩම් අයිතිය පිළිබඳව සලකා බැලීම ,UNREDD,ප්‍රවේශය:
https://www.un-redd.org/document-library/land-tenure-considerations-sri-lankas-proposed-national-redd-strategy[අවසන් වරට ප්‍රවේශය: 2022 ඔක්තෝම්බර් 27]

ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම (ඉංග්‍රීසි). වොෂිංටන්, ඩීසී: ලෝක බැංකු සමූහය,ප්‍රවේශය:

http://documents.worldbank.org/curated/en/750021530107195459/Improving-qualitty-of-land-administration-in-Sri-Lanka[අවසන් වරට ප්‍රවේශය: 2022 ඔක්තෝම්බර් 27]

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.