ඉරාන් වික්‍රමරත්න

පා.ම. වික්‍රමරත්න – දළ අලාභය හරියට කියා ශුද්ධ අලාභය වරදවා ගනී

"

රජයේ ව්‍යවසාය ආයතන 430ක් විතර තියෙනවා. මෙයින් 218 ක් සමාගම්. මෙයින් 52ක් තමයි සැලකෙන්නේ ක්‍රමෝපායශීලී ආයතන කියලා. 2021 දී මේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රජය සතු ව්‍යවසායන්ගේ අලාභය රු. බිලියන 286 ක්. 2022 දෙවන කාර්තුව වන විට මේ ව්‍යවසායන්ගේ පාඩුව රු. බිලියන 966 ක්.

සමගි ජන බලවේගයෙහි නිල ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 12, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

මුදල් අමාත්‍යාංශය විසින් වර්ගීකරණය කර ඇති පරිදි උපායමාර්ගික වශයෙන් වැදගත්,ජය සතු ව්‍යවසායන් 52 ක අලාභ සම්බන්ධයෙන් පා.ම. වික්‍රමරත්න මෙහිදී කරුණු දෙකක් ඉදිරිපත් කර ති‌‌බේ: එනම්, (1) 2021 දී මෙම ව්‍යවසායන්ගේ අලාභය රුපියල් බිලියන 286 ක් බවත්, (2) 2022 දෙවන කාර්තුව වන විට එය රුපියල් බිලියන 966 ක් වූ බවත් ඔහු පවසා සිටී. 

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ 2022 වසර සඳහා වන මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව පරිශීලනය කරන ලදි. මෙම වාර්තාවෙහි 3.2 වගුවේ දක්වා ඇති පරිදි රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 හි ශුද්ධ අලාභය රුපියල් බිලියන 86 කි (ප්‍රදර්ශිතය 1). කෙසේ වෙතත්, පාඩු ලැබූ රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52න් 20ක් රුපියල් බිලියන 286 ක (දළ) අලාභයක් වාර්තා කර තිබූ අතර, එය පා.ම. විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාව හා සම වේ (ප්‍රදර්ශිතය 1). 

මෙහි සඳහන් දෙවැනි කරුණ ගත් විට, 2022 අප්‍රේල් මාසය අවසන් වන විට රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 සඳහා වූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 859 ක් විය. කෙසේ වෙතත්, පාඩු ලබන රජය සතු ව්‍යවසායන් 20 හි (දළ) අලාභය රුපියල් බිලියන 933 ක් වූ අතර (ප්‍රදර්ශිතය 1), එය දෙවන කාර්තුව පිළිබඳව සඳහන් කරමින් පා.ම. විසින් උපුටා දක්වන ලද අගයට ආසන්න වේ.  

2021 සහ 2022 සඳහා පා.ම. වික්‍රමරනත්න උපුටා දක්වන සංඛ්‍යා, පාඩු ලබන රජය සතු ව්‍යවසායන් 20 හි දළ අලාභය හා සමපාත වේ. එනමුත්, පා.ම. රජය සතු ව්‍යවසායන් 52ක් පිළිබඳව සඳහන් කළ ද ඔහු විසින් ගණනය කරනු ලබන්නේ පාඩු ලබන රජය සතු ව්‍යවසායන් 20ක දළ අලාභය පමණක් වන බැවින් මෙම ප්‍රකාශය නොමඟ යවනසුළු විය හැක. රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 අතුරින් ඇතැමක් ලාභ උපදවන බැවින් ඒ සඳහා ශුද්ධ අලාභය පා.ම. විසින් උපුටා දක්වන සංඛ්‍යාවන්ට වඩා අඩු අගයක් ගනී. 

ශුද්ධ අලාභ වෙනුවට දළ අලාභය උපුටා දැක්වීම හේතුවෙන් මෙම ප්‍රකාශය නොමඟ යවනසුළු විය හැකි බැවින්, එය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු . 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

සටහන: 2021 මාස 12 ට සාපේක්ෂව, 2022 පළමු මාස 4 තුළ පමණක් රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 හි ශුද්ධ අලාභය රුපියල් බිලියන 773 කින් වැඩි විය (එම කාලය තුළ දළ අලාභය රුපියල් බිලියන 646 කින් වැඩි විය). 2022 දී මෙලෙස විශාල වශයෙන් අලාභය ඉහළ යාමට හේතු වී ඇත්තේ දුර්වල භාණ්ඩාගාර කළමනාකරණයයි එනම්, එ.ජ.‌‌ඩොලර්වලින් ණය තබා ගැනීම සහ 2022 මාර්තු මාසයේදී රුපියල අවප්‍රමාණය වීම නිසා විඳීමට සිදු වූ අලාභයයි. රුපියල අවප්‍රමාණය වීම රජය සතු ව්‍යවසායන්‌ගේ අලාභය කෙරෙහි මීට පෙර බලපෑ අන්දම පිළිබඳ වැඩි විස්තර සඳහා https://bit.ly/3WJ201d බලන්න. 

 

ප්‍රදර්ශිතය 1: රජය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 ක අලාභය පිළිබඳ දත්ත සංසන්දනය කිරීම 

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශයේ 2022 වසර සඳහා වන මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව

 

 

 



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයේ 2022 වසර සඳහා වන මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව,ප්‍රවේශය::
https://www.treasury.gov.lk/api/file/65addab5-c203-46f1-b095-cb9a59881e6b[අවසන් වරට ප්‍රවේශය: 2022 නොවැම්බර් 11] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.