මනෝ ගනේෂන්

පා.ම. ගනේෂන් වතුකරය සහ සෙසු ප්‍රදේශ අතර පරතරය පිළිබඳ සිදු කළ ප්‍රකාශය, එම වකවානුව තුළ නිවැරදියි.

"

ශ්‍රී ලංකාව තුළ වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වතුකරයෙන් හමු වන අතර එය 51% කි. එම අගය නාගරික ප්‍රදේශවල 43% ක් ද ග්‍රාමීය ප්‍රදේශවල 51% ක් ද වේ. ලංකාවේ දරිද්‍රතා අනුපාතය 26% දක්වා ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකුව වාර්තා කරන අතර, වතුකරයේ එය 53% කි.

ඩේලි මිරර් | නොවැම්බර් 21, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. ගනේෂන් සිය ප්‍රකාශය තුළින් වතුකරය සහ රටේ සෙසු ප්‍රදේශ අතර ඇති පරතරය සම්බන්ධයෙන් කරුණු දෙකක් ඉදිරිපත් කරයි. (1) රටේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව වතුකරයේ දරිද්‍රතාවය දෙගුණයකට ආසන්න බවත්, (2) වතුකරයේ ආහාර අනාරක්ෂිතභාවය රටේ සෙසු ප්‍රදේශවලට වඩා 20% ත් 30% ත් අතර ප්‍රමාණයකින් වැඩි බවත් පවසමින් එලෙස කරුණු දෙකක් ඔහු මතු කරයි.

පළමු කරුණ: මෙම කරුණ සඳහා අදාළ තොරතුරු පා.ම. ගනේෂන් විසින් ලෝක බැංකුවේ 2022 ඔක්තෝබර් සඳහා වන ශ්‍රී ලංකාව පිළිබඳ සංවර්ධන වාර්තාව (World Bank Sri Lanka Development Update October 2022) මූලාශ්‍ර කොට ගත් බවක් පෙනෙන්නට තිබේ.

2022 වර්ෂය තුළ දරිද්‍රතා අනුපාතය 25.6% දක්වා ඉහළ ගිය බව ක්ෂුද්‍ර සමාකරණ (microsimulations) මත පදනම්  වූ එම ලෝක බැංකු පුරෝකථන මගින් ඇස්තමේන්තු කෙරේ (2021 දී එය 13.1% වූ බවට ඇස්තමේන්තු කර තිබිණ).  එමෙන්ම, වතුකරයේ දරිද්‍රතා අනුපාතය 53.7% බව, මෙම ඇස්තමේන්තු රටේ විවිධ ප්‍රදේශ අනුව වෙන් කොට බැලූ විට පෙනී යයි (අංක 1 වගුව බලන්න). මෙම සංඛ්‍යා, පා.ම. විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාවලට මෙන්ම ඔහුගේ තර්කයට ද අනුකූල වේ. (ලෝක බැංකු දරිද්‍රතා ඇස්තමේන්තුව පිළිබඳ වැඩි විස්තර සඳහා අතිරේක සටහන බලන්න).

දෙවැනි කරුණ: මෙම කරුණෙහි ඇතුළත් දත්ත ලබා ගැනීම සඳහා පා.ම. විසින් ලෝක ආහාර වැඩසටහනේ (World Food Programme) “ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව අධීක්ෂණය කිරීම: දුෂ්කර පළාත්වල ගෘහ ඒකකවල ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සමීක්ෂණ වාර්තාව” (Sri Lanka Food Security Monitoring: Remote Household Food Security Survey Brief) නම් ප්‍රකාශනය පරිශීලනය කළ බවක් පෙනී යයි.

1) මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවය, සහ 2) දැඩි ආහාර අනාරක්ෂිතභාවය යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ ආහාර අනාරක්ෂිතභාවය සලකා බලනු ලැබේ. පා.ම. මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී ප්‍රකාශයට පත් කර තිබූ ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂණ දත්ත 2022 අගෝස්තු මාසය සඳහා අදාළ විය. එහිදී ඇස්තමේන්තු කර තිබූ සමස්ත ආහාර අනාරක්ෂිතභාවය (ඉහත කාණ්ඩ දෙක එකතු කළ විට) වතුකරය සඳහා 50.6% ක් ද, නාගරික ප්‍රදේශ සඳහා 43% ක් ද, ග්‍රාමීය ප්‍රදේශ සඳහා 34.3% ක් ද විය. මෙම සංඛ්‍යා පා.ම. විසින් උපුටා දක්වන ලද සංඛ්‍යා හා සමපාත වේ. (අංක 2 වගුව බලන්න).

වතුකරයේ දරිද්‍රතා අනුපාතයත්, ආහාර අනාරක්ෂිතභාවයත්, සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවට පා.ම. සඳහන් කළ කරුණ, එම ප්‍රකාශය සිදු කළ අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් ගෙන විධිමත් ඇස්තමේන්තු ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කර තිබූ මූලාශ්‍ර ඇසුරින් ලබා ගත හැකි වඩාත්ම නිරවද්‍ය ඇස්තමේන්තුවලට අනුව නිවැරදි වේ. (එම කාල වකවානුවට පසු ආහාර සුරක්ෂිතතාව වෙනස් වී ඇති ආකාරය පිළිබඳ විස්තර සඳහා අතිරේක සටහන බලන්න.)

එබැවින්, අපි පා.ම. ගනේෂන්ගේ ප්‍රකාශය නිවැරදියි යැයි වර්ගීකරණය කරන්නෙමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අංක 1 වගුව – ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාත 2019 – 2022

මූලාශ්‍රය: ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සංවර්ධන වාර්තාව

අංක 2 වගුව2022 ජූනි සිට නොවැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය

මූලාශ්‍රය: ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අධීක්ෂණය



Additional Note

පහළ මැදි ආදායම් රටවල ක්‍රය ශක්ති සාම්‍යය (purchasing power parity) පදනම මත දිනකට එ.ජ.ඩොලර් 3.65 ට වඩා අඩු ඒක පුද්ගල ආදායමක් ඉපයීම දරිද්‍රතාවය වශයෙන් ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර ඇත. මෙම වර්ගීකරණය 2017 දී සිදු කරන ලද්දකි. මෙය, නිශ්චිත භාණ්ඩ පැසක පරිභෝජනය ඇසුරින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කෙරෙන දරිද්‍රතා රේඛාවට වඩා වෙනස් ආකාරයක ඇස්තමේන්තු ක්‍රමවේදයකි. ලෝක බැංකු දරිද්‍රතා රේඛාව, 2017 දී ‌ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ක්‍රය ශක්ති සාම්‍යයේ පරිවර්තන සාධකය මත පදනම්ව රුපියල් ඒකකවලට පරිවර්තනය කළ විට එය මසකට ඒක පුද්ගල ආදායම රු. 5,408.21 ක අගයට සමාන විය. ක්‍රය ශක්ති සාම්‍යයේ කිසිදු වෙනසක් සිදු නොවන බව උපකල්පනය කරමින්, 2022 ඔක්තෝබර් මාසයේදී විනිමය අනුපාත මත පදනම්ව එම දරිද්‍රතා රේඛාව වර්තමාන තත්ත්වයන්ට ගැලපීම සඳහා ආසන්න වශයෙන් ගණනය කළ විට රු. 12,883 ක දරිද්‍රතා රේඛාවක් ලැබේ. 2012/13 සඳහා වන ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණය තුළින් හෙළිවන පරිභෝජන රටාවන් 2022 ඔක්තෝබර් මාසය සඳහා වන මිල ගණන්වලට ගැලපෙන අයුරින් සැකසූ විට ලැබෙන අගය පදනම් කර ගනිමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් භාවිතා කෙරෙන නිල දරිද්‍රතා රේඛාව රු. 13,810 කි. ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ ලෝක ආහාර වැඩසටහන මගින් පළ කර ඇති නවතම සමීක්ෂණ වාර්තා (මෙම කරුණු පිරික්සීම පළ කරන අවස්ථාව වන විට) 2022 නොවැම්බර් මාසය සඳහා අදාළ වන අතර, ඊට අනුව ආහාර අනාරක්ෂිතභාවය වතුකරය සඳහා 33.4% ක් ද, නාගරික ප්‍රදේශ සඳහා 27.5% ක් ද, ග්‍රාමීය ප්‍රදේශ සඳහා 38.8% ක් ද වේ. ග්‍රාමීය අංශයේ ආහාර අනාරක්ෂිතභාවය වතුකරයේ ආහාර අනාරක්ෂිතභාවය අභිබවා ඉහළ ගොස් ඇති බවක් ඉන් පෙනී යයි. එබැවින්, 2022 නොවැම්බර් මසට පසු, ආහාර අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය තවදුරටත් පා.ම.ගේ ප්‍රකාශය සමඟ සමපාත නොවේ.


මූලාශ්‍රය

ශ්‍රී ලංකාව පිළිබඳ සංවර්ධන වාර්තාව – අර්බුදකාරී අවස්ථාවක දරිද්‍රතාවයෙන් පෙළන්නන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම, ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව සහ ලෝක බැංකුව, 2022 ඔක්තෝබර් (Sri Lanka Development Update – Protecting the Poor and Vulnerable in a Time of Crisis, The International Bank for Reconstruction and Development and The World Bank, October 2022) ප්‍රවේශය; https://thedocs.worldbank.org/en/doc/6c87e47ca3f08a4b13e67f79aec8fa3b-0310062022/original/Sri-Lanka-Development-Update-October-2022-  [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 10]

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අධීක්ෂණය 2022 නොවැම්බර්, ප්‍රවේශය; https://docs.wfp.org/api/documents/WFP-0000145643/download/?_ga=2.23857786.1323882724.1673345503-602456413.1669350556 [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 10]

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දර්ශක වාර්තා කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහනේ ඒකාබද්ධ ප්‍රවේශය සඳහා වන තාක්ෂණික මාර්ගෝපදේශයේ තෙවැනි සංස්කරණය, දෙසැම්බර් 2021, ලෝක ආහාර වැඩසටහන (Technical Guidance for WFP Consolidated Approach for Reporting Indicators of Food Security (CARI) Third Edition December 2021), ප්‍රවේශය; https://docs.wfp.org/api/documents/WFP-0000134704/download/#:~:text=The%20CARI%20assesses%20availability%20and,vulnerability%20and%20livelihood%20coping%20strategies [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 10]

විශේෂ වාර්තාව: ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හා ලෝක ආහාර වැඩසටහනේ භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුම විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට (2022 සැප්තැම්බර්), ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන (Special Report: FAO/WFP Crop and Food Security Assessment Mission (CFSAM) to the Democratic Socialist Republic of Sri Lanka (September 2022), Food and Agriculture Organization of the United Nations and World Food Programme), ප්‍රවේශය; https://reliefweb.int/report/sri-lanka/special-report-faowfp-crop-and-food-security-assessment-mission-cfsam-democratic-socialist-republic-sri-lanka-september-2022 [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 10]

ක්‍රය ශක්ති සාම්‍යය සඳහා පරිවර්තන සාධකය, ද.දේ.නි (ජාත්‍යන්තර ඩොලරය සඳහා දේශීය මුදල් ඒකක) – ශ්‍රී ලංකාව, ප්‍රවේශය; https://data.worldbank.org/indicator/PA.NUS.PPP?locations=LK [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 10]

දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා රේඛාව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රවේශය; http://www.statistics.gov.lk/povertyLine/2022_new [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 10]

මාසික ආර්ථික දර්ශක, ශ්‍රී ලංකා මහ බැංකුව, 2022 ඔක්තෝබර්, ප්‍රවේශය; https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mei/MEI_202210_e.pdf[අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 10]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.