අශෝක් අබේසිංහ

ආදායම් ඇස්තමේන්තුව යථාර්ථවාදී නොවන බවට පා.ම. අබේසිංහ සිදු කළ ප්‍රකාශය යථාර්ථවාදී නොවේ

"

...මෙවර ඉදිරිපත් කරලා තිබෙන අයවැයේ ආදායම් ඇස්තමේන්තුව ලංකා ඉතිහාසයේ වැඩිම ආදායමක් සොයන ඇස්තමේන්තුවයි. පසුගිය වසරට සාපේක්ෂව ආදායම 70% ක් වැඩියෙන් මෙවර පෙන්වනවා. ලංකාවේ කවදාවත් 10%ට, 15%ට. 20% ට වඩා අවුරුද්දෙන් අවුරුද්දට ආදායම වැඩි වෙලා නැහැ. ලංකා ඉතිහාසයේ කවදාවත් රුපියල් බිලියන් තුන්දහස් ගණනක ආදායමක්

පාර්ලිමේන්තු හැන්සාඩ් | නොවැම්බර් 21, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2023 සඳහා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ආදායම් ඇස්තමේන්තුව සම්බන්ධයෙන් කරුණු 2ක් මෙහිදී පා.ම. මතු කරයි. ඒ අනුව, (1) ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ කිසි කලක රජයේ ආදායම වසරින් වසර 20% ට වඩා වැඩි වර්ධනයක් නොපෙන්වා ඇති අතරම, 2022 වසරට සාපේක්ෂව 70% න් වැඩි ආදායමක් 2023 අයවැය ඇස්තමේන්තුවට ඇතුළත් කර ඇති බවත්, (2) රුපියල් බිලියන 3,000 ඉක්මවන මෙම ආදායම් ඇස්තමේන්තුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම අගය වන අතර, එය අතීතයේ දී කිසි විටෙක රුපියල් බිලියන 2,000 ඉක්මවා නැති බවත් ඔහු පවසා සිටි. ආදායම වැඩි වූ ප්‍රතිශතය සහ පුරෝකථනය කරන ලද මුළු ආදායම සැලකූ විට, 2023 සඳහා වන ආදායම් ඉලක්කය මින් පෙර වාර්තා නොවූ විරූ, යථාර්ථවාදී නොවන ඉලක්කයක් බව පා.ම. මෙම කරුණු හරහා ඉදිරිපත් කරන තර්කය වේ. මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන වාර්ෂික වාර්තාව සහ 2023 අයවැය කතාව පරිශීලනය කරන ලදි. 

පළමු කරුණ: ආදායමේ මෙවැනි වැඩිවීමක් මින් පෙර වාර්තා වී නොමැති බවට ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ. 1950 සිට මේ දක්වා කාලය තුළ 11 වතාවක් පමණ, නාමික ආදායම පා.ම. විසින් දක්වා ඇති  20% ක උපරිමයට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර, 75% ක් වූ ඉහළම වර්ධන ප්‍රතිශතය 1978 දී වාර්තා වී ඇත (අංක 1 වගුව බලන්න). 2022 සඳහා වූ සංශෝධිත ආදායම් ඇස්තමේන්තු මත පදනම්ව ගණනය කළ විට, 2023 සඳහා ඇස්තමේන්තුගත ආදායම් වැඩිවීම 64%ක් වන අතර එය පා.ම. සඳහන් කළ 70%ට වඩා මඳක් අඩු අගයකි. 

දෙවැනි කරුණ: පා.ම. ප්‍රකාශ කර ඇති අයුරින්ම, 2023 සඳහා අපේක්ෂිත රුපියල් බිලියන 3,408 ක ආදායම, මෙතෙක් වාර්තා වී ඇති ඉහළම නාමික අගය වේ. එමෙන්ම, ඔහු ප්‍රකාශ කර ඇති අයුරින්ම, නාමික ආදායම කිසි විටෙක රුපියල් බිලියන 2,000 ඉක්මවා ගොස් නැත. මෙම අගයන් නිවැරදි වුව , ඒ හරහා ගොඩ නඟා ඇති තර්කය නිවැරදි නොවේ. ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස නොවෙනස්වවතින අවස්ථාවන්හිදී පවා, උද්ධමනය සහ ආර්ථික වර්ධනය හේතුවෙන් උපයනු ලබන ආදායමේ නාමික අගය ඉහළ යන අතර, එබැවින්, බොහෝ අයවැයවල ආදායම් ඇස්තමේන්තුව එතෙක් වාර්තා වී ඇති ඉහළම අගය වීම සාමාන්‍ය දෙයකි. යම් ආදායම් ඉලක්කයක ප්‍රඥාගෝචර බව හෝ එය සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව හෝ ඇගයීම සඳහා එහි තථ්‍ය අගයන් (උද්ධමනය සැලල්ලට ගැනීම සඳහා සංශෝධනය කරන ලද) හෝ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව එහි ප්‍රතිශතය හෝ සංසන්දනය කළ යුතු ය. 2023 ඇස්තමේන්තුව මින් පෙර වාර්තා නොවූ විරූ ඉලක්කයක් හෝ පමණට වඩා ඉහළ අගයක් හෝ යථාර්ථවාදී නොවන ඇස්තමේන්තුවක් හෝ නොවන බව එම ගණනය කිරීම් ඔස්සේ පෙනී යයි. (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තථ්‍ය අගය සහ ආදායම ඉහත සඳහන් අගයන් ඉක්ම වූ සියලුම වර්ෂයන් පිළිබඳ විස්තර සඳහා අංක 1 වගුව බලන්න). 

මේ අනුව, ආදායම ඉහළ ගොස් ඇති ප්‍රතිශතය පෙර වාර්තා නොවූ විරූ වර්ධනයක් යනුවෙන් පා.ම. ඉදිරිපත් කළ කරුණ නිවැරදි නොවන අතර, මුළු ආදායම සඳහා වන අගය යථාර්ථවාදී නොවන බවට ඔහු මතු කළ තර්කය ද විශාල වශයෙන් නොමඟයවනසුළු ය. එබැවින්, අපි පා.ම. අබේසිංහගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  

අංක 1 වගුව: 1950 සිට 2023 දක්වා රජයේ ආදායම (නාමික, තථ්‍ය සහ එ.ජ.ඩොලර් අගයන්වලින් සහ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස) 

* 2023 වර්ෂයේ අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් වාර්තා කළ වර්ෂයන්ට අදාළ කොටු කොළ පාටින් දක්වා ඇත

 



Additional Note

මෙහිදී තථ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ගම්‍ය මිල අවධමකය (GDP deflator) මත පදනම්ව ගණනය කරන ලදි. 2022 සඳහා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 පළමු මාස නවය සඳහා නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මත දළ දේශීය නිෂ්පාදිතයේ ගම්‍ය මිල අවධමනකය පදනම් වී ඇත. එමෙන්ම, ‍ නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා අයවැය කතාවෙහි ඇතුළත් රජයේ පුරෝකථනයන් සහ මුදල් අමාත්‍යාංශයේ ආයෝජක වාර්තාවෙහි තථ්‍ය දළ දේශීය නිෂ්පාදිතය සඳහා පුරෝකථනය කර තිබූ -3% ක අගය මත පදනම්ව (investor presentation) 2023 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ ගම්‍ය මිල අවධමකය සඳහා 30% ක වැඩිවීමක් උපකල්පනය කරන ලදි.


මූලාශ්‍රය

විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, මහ බැංකු වාර්ෂික වාර්තාව 2021,ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2021  [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 20]

අයවැය කතාව 2023,ප්‍රවේශය: https://treasury.gov.lk/api/file/192322fd-7967-49d8-ad59-6046470d68c8 [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 20]

ජාතික ගිණුම් (2022 පළමු මාස නවය), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව,ප්‍රවේශය: www.statistics.gov.lk/NationalAccounts/StaticalInformation/Reports/SummaryTables/2022m6_en  [අවසන් වරට ප්‍රවේශය 2023 ජනවාරි 20]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.