සජිත් ප්‍රේමදාස

සංචිත ගැන සජිත්: නිගමනය හරි වුණත් ක්‍රමය වැරදියි

"

2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන් වෙනකොට සංචිතවල ඉලක්කය බිලියන 14.2ක් විය යුතුයි. අද තියෙන්නේ හතයි, 50%ක්වත් ඒ ඉලක්කය කරා අපිට යන්න බැරි වෙලා තියෙනවා

අද දෙරණ සිංහල නාලිකාව | මැයි 24, 2026

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

සමග ජන බලවේගයේ උත්සවයකදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාවේ සංචිතවල ප්‍රමාණවත්භාවය පිළිබඳව ගැටලුවක් මතු කරන ලදි. ඔහුගේ තර්කයට සහය දක්වමින් ඔහු පවසා සිටියේ, 2027 මාර්තු මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වන විට ළඟා කර ගැනීමට නියමිත එ.ජ. ඩොලර් බිලියන 14.2 ක සංචිත ඉලක්කයට සාපේක්ෂව, ශ්‍රී ලංකාව විසින් එම අවශ්‍ය සංචිතවලින් අවම වශයෙන් 50% ක්වත් ළඟා කර ගෙන නොමැති බවයි.

මෙම ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක සහ “ක්ෂණික මූල්‍යකරණය යටතේ මිලදී ගැනීම සඳහා වන ඉල්ලීම” (Request for Purchase Under the Rapid Financing) මැයෙන් යුත් අංක 25/339 දරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට අදාළ වාර්තාව පරිශීලනය කරන ලදි.

සංචිත සඳහා ඉලක්කය වශයෙන් විපක්ෂ නායකවරයා විසින් උපුටා දක්වන ලද එ.ජ. ඩොලර් බිලියන 14.2 ක අගය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ 2027 වසර සඳහා පුරෝකථනය කර තිබූ අගයට වඩා ඉහළ අගයකි. මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට 2027 වසර සඳහා වන දළ නිල සංචිතවල ආසන්නතම පුරෝකථනය දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 13.4 ක් වූ අතර, එතැන් පටන් එය තවදුරටත් අඩු කොට සංශෝධනය කර ඇත (අංක 1 වගුව බලන්න).

මෙහි ඇති වැදගත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව සතුසංචිත ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් ද යන්නයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සමාලෝචන ලේඛනවල, එක් එක් රටක සංචිත ප්‍රමාණවත් යැයි සැලකීමට අවශ්‍ය අවම මට්ටම ගණනය කරන “සංචිතවල ප්‍රමාණවත්භාවය ඇගයීම” (Assessing Reserve Adequacy – ARA) නම් මිනුමක් ඉදිරිපත් කරයි. 2026 වසර සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගණනය කරන ලද ARA මිනුම එ.ජ. ඩොලර් බිලියන 11.5 කි (එය ගොඩනඟා ඇති ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා අතිරේක සටහන බලන්න).

විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට සංචිත දත්ත ප්‍රසිද්ධියේ ලබා ගත හැකිව තිබුණේ 2026 පෙබරවාරි දක්වා පමණි. එම අවස්ථාව වන විට, භාවිතය පිළිබඳ කොන්දේසිවලට යටත් වන සහ එබැවින් සංචිත වත්කමක් ලෙස සුදුසුකම් නොලබන චීන මහ බැංකුවේ (PBoC) විනිමය හුවමාරුව (swap) ද ඇතුළුව පැවති දළ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 7.3 කි. චීන මහ බැංකුවේ විනිමය හුවමාරුව හැර, දළ සංචිතවල එකතුව එ.ජ. ඩොලර් බිලියන 5.8 ක් විය. ARA මිනුමට සාපේක්ෂව එම එ.ජ. ඩොලර් බිලියන 5.8 ක අගය දළ වශයෙන් සියයට 51 කි.

ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ප්‍රමාණවත් යැයි සැලකිය හැකි සංචිත ප්‍රමාණයෙන් අඩක් පමණක් වන බවට විපක්ෂ නායකවරය සිතු කළ ප්‍රකාශයට මෙමගින් රුකුලක් ලැබේ. ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ප්‍රමාණවත් සංචිත මට්ටමින් අඩක් පමණක් වන බවට විපක්ෂ නායකවරයා නිවැරදි නිගමනයකට එළැඹිය ද, ඔහු එම සංඛ්‍යාව උපුටා දක්වන්නේ වෙනස් ආකාරයක ගණනය කිරීමක් භාවිතා කරමිනි. තව ද එසේ කිරීම සඳහා ඔහු ඉදිරිපත් කරන සංඛ්‍යා (එ.ජ. ඩොලර් බිලියන 14.2 ක ඉලක්කය සහ සංචිතවල ඇති පරිදි එ.ජ. ඩොලර් බිලියන 7) ද තරමක් වැඩි කොට දක්වා ඇත.

එම නිසා, අපි විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අංක 1 වගුව: එක් එක් සමාලෝචනයේදී දළ නිල සංචිතවලට අදාළ පුරෝකථන වෙනස් වූ අයුරු (සංඛ්‍යා එ.ජ. ඩොලර් මිලියනවලිනි)

අතිරේක සටහන: සංචිතවල ප්‍රමාණවත්භාවය ඇගයීම (Assessing Reserve Adequacy – ARA) යනු, අර්බුදයකට මුහුණ දීම සඳහා කිසියම් රටක් සතු විය යතු සංචිත මට්ටම කුමක් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම වේ. එය සංසන්දනය සඳහා යොදා ගත හැකි සම්මත අගයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ARA මිනුම පිළිබඳ මාර්ගෝපදේශ සටහනට (2016) අනුව, යම්කිසි රටක් පීඩනයකට ලක් වූ විට සංචිත ක්ෂය වීමට දායක වන සාධක හතරක් එකතු කිරීම මඟින් එය ගණනය කරනු ලැබේ: එනම්, (1) කෙටිකාලීන බාහිර ණය, (2) වෙනත් බාහිර වගකීම්, (3) පුළුල් මුදල් සැපයුම, සහ (4) අපනයන ඉපැයීම්.

මෙම මිනුම යටතේ ARA අගය ගණනය කරනු ලබන අතර, එම අගය මෙම මිනුමෙන් 100% සිට 150% දක්වා පරාසයක පවතී නම්, පූර්වෝපාය අරමුණු සඳහා සංචිත ප්‍රමාණය පුළුල් ලෙස ප්‍රමාණවත් යැයි සැලකේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.