තොරතුරු පිරික්සීම
ඉතිහාස්යේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මේ වසරේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පවසන ලදි. 2026 ජූනි 23 දින ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ, එම වැඩසටහන සාර්ථක වී නොමැති බව හැඟවීමේ අරමුණෙනි.
මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තහවුරු කර ගැනීම සඳහා FactCheck.lk විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩෙංගු රෝගයට අදාළ ගෝලීය සංඛ්‍යාලේඛන පුවරුවේ දත්ත පරිශීලනය කරන ලදි. එමගින් සෑම මසකම ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් ගෝලීය ඩෙංගු දත්ත ලබා ගෙන වාර්තා කරනු ලැබේ. ඒ අනුව 2017 ජනවාරි සිට 2026 ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ සමුච්චිත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ප්‍රස්තාර අංක 1 න් දැක්වේ.
පා.ම. මෙම ප්‍රකාශය සිදු කිරීමට පෙර වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පිළිබඳව සම්පූර්ණ මාසයකට අදාළව ලබා ගත හැකි නවතම දත්ත (එනම්, මැයි මාසය සඳහා වූ දත්ත) භාවිතා කරමින් FactCheck.lk විසින් ප්‍රථමයෙන් මෙම ප්‍රකාශය ඇගැයීමට ලක් කරන ලදි. 2026 මැයි මාසයේ අග වන විට, ශ්‍රී ලංකාව තුළ ජනවාරි මාසයේ සිට එම වසර සඳහා සමුච්චිතව ඩෙංගු රෝගීන් 33,872 ක් වාර්තා වී තිබිණි. මෙය ඊට පෙර වසර දෙකක එම කාලපරිච්ඡේදයන් තුළ වාර්තා වූ මුළු සංඛ්‍යාවන්ට වඩා අඩු අගයකි: (1) 2017 මැයි – 2017 ජනවාරි සිට සමුච්චිතව රෝගීන් 52,029 ක්; සහ (2) 2023 මැයි – සමුච්චිතව රෝගීන් 38,009 ක්.
2026 ජූනි මාසයේදී (පා.ම. සිය ප්‍රකාශය සිදු කළ මාසයේදී) ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, 2026 වසරේ සමුච්චිත රෝගීන් සංඛ්‍යාව 2023 හි ඊට අදාළ මුළු සංඛ්‍යාව ඉක්මවා ගියේය. නමුත් එය 2017 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් අඩු විය. 2026 දී රෝගීන් 56,422 ක් වාර්තා වන විට 2017 දී එම සංඛ්‍යාව 77,330 දක්වා ඉහළ ගොස් තිබිණි (අංක 1 ප්‍රස්තාරය බලන්න). එබැවින්, ජූනි මාසයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගත් පසුව වුව ද, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ 2026 දී බවට පා.ම. සිදු කළ ප්‍රකාශය නිවැරදි යැයි සාධාරණීකරණය කළ නොහැක.
එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩෙංගු රෝගයට අදාළ ගෝලීය සංඛ්‍යාලේඛන පුවරුව විසින් ඩෙංගු රෝගයට අදාළ දත්ත මාසික පදනමින් එක්රැස් කරනු ලබන අතර කිසියම් මාසයකට අදාළ දත්ත ඊළඟ මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඩෙංගු ආවේක්ෂණ කටයුතු දෛනික සහ සතිපතා පදනමින් සිදු කෙරේ. එබැවින්, මෙම දත්ත නිල ජාතික සංඛ්‍යාලේඛන භාවිතා කරමින් සම්පාදනය කර ඇති අතර හැකි උපරිමයෙන් මාසික දත්ත සමග පෙළගස්වා ඇති නමුදු, ජාතික මට්ටමින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛන සමඟ (මෙම සංඛ්‍යාලේඛන 2022 ට පෙර අඛණ්ඩව වාර්තා කර නොමැත) සුළු නොගැලපීම් තිබිය හැක.
ප්‍රස්තාර අංක 1: එක් එක් මාසයක් තුළ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව (2017 ජනවාරි සිට 2026 ජූලි දක්වා)

මූලාශ්‍රය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩෙංගු රෝගයට අදාළ ගෝලීය සංඛ්‍යාලේඛන පුවරුව
https://worldhealthorg.shinyapps.io/dengue_global/