සනත් නිශාන්ත

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හා චීනයට හිමිව තිබූ ස්ථාන පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුළුමනින්ම වැරදියි

"

අපි යහපාලන ආණ්ඩුවට රට බාර දෙනකොට ලෝකයේ ආර්ථික වර්ධනය වැඩිම රට බවට චිනය පත්වෙද්දි, අපේ රට දෙවැනි ස්ථානයේ තමයි තිබුණේ.  

ලංකාදීප | ජූලි 30, 2021

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සොයා බැලීම සඳහා, FactCheck.lk මගින් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධයෙන් වන ලෝක බැංකුවේ ජාතික ගිණුම් දත්ත පරිශීලනයට ගෙන ඇත. මෙහිදී FactCheck.lk මගින් උක්ත ප්‍රකාශය නිර්ණායක දෙකක් සලකා බලමින් ඇගැයුම් කර තිබේ. ඒවා නම්, අ) 2014 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ, ආ) 2010 සිට 2014 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයේ සාමාන්‍යයයි. 

 

ලෝක බැංකු දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2014 වසරේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 4.96% ක් වූ බවයි. එසේම, 2010 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ද.දේ.නි යේ වර්ධන වේගයේ සාමාන්‍යය 6.78% ක් වී තිබේ. 2014 වසරේ චීනයේ ද.දේ.නි යේ වර්ධන වේගය 7.43% ක් වූ බවත්, 2010 සිට 2014 දක්වා එහි වර්ධන වේගයේ සාමාන්‍යය 8.65% ක් වී ඇති බවත් දත්ත මගින් පෙන්වා දෙයි. 

 

ඉහත අප සැලකිල්ලට ගත් නිර්ණායක දෙකෙන් එකක් හෝ යටතේ ශ්‍රී ලංකාව ආර්ථික වර්ධන වේගය අතින් ලෝකයේ දෙවැනි තැනට පැමිණ සිටියේ නැති බව මෙහිදී පෙනී යයි. සැබවින්ම, 2014 වසරේදී ශ්‍රී ලංකාවට එම ශ්‍රේණිගත කිරීමේදී හිමිව තිබුණේ 56 වන ස්ථානයයි. එම වසරේදී ශ්‍රී ලංකාව රටවල් 55 කට පසුපසින් හිඳි අතර, එම රටවල් 55 අතර ඉන්දියාව (7.41%), බංග්ලාදේශය (6.06%), නේපාලය (6.01%) සහ මැලේසියාව (6.01%) වැනි ආසියාතික රටවල් කිහිපයක්ද විණි. එසේම, 2010 සිට 2014 දක්වා පැවති ආර්ථිකයේ වර්ධන වේගයේ සාමාන්‍යය ගත් විටද, ශ්‍රී ලංකාවේ වර්ධන වේගය පැවතුණේ මියන්මාරය (7.80%), කාම්බෝජය (6.97%) සහ සිංගප්පූරුව (6.82%) ඇතුළු රටවල් 25 කටත් වඩා පහතිනි. 

 

එසේම, අප සැලකිල්ලට ගත් නිර්ණායක දෙකෙන් එකක් යටතේ හෝ චීනයද ආර්ථික වර්ධන වේගය අතින් ලෝකයේ පළමු තැනට පැමිණ සිටියේ නැත. 2014 වසරේදී චීනයේ ආර්ථික වර්ධනය පරදවාලූ රටවල් 10 ක් තිබිණි. එසේම 2010-2014 කාලය සඳහා ආර්ථික වර්ධන වේගයේ සාමාන්‍යය සැලකිල්ලට ගත් විටදී පවා චීනය සිටියේ රටවල් හතකට පසුපසිනි. 

 

යහපාලන රජය පැමිණෙන්නට පෙරාතුව, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයේ ගෝලීය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව සහ චීනය දැරූ ස්ථාන සම්බන්ධයෙන් මෙන්ම චීනයට සාපේක්ෂව ශ්‍රී ලංකාව දැරූ ස්ථානය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විශාල වශයෙන් වැරදි අදහසක පසු වන බව මෙසේ පෙනී යයි. ඒ අනුව, ඔහුගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදි යැයි අපි පවසමු. 

 

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ලෝක බැංකුවදත්තදළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (වාර්ෂික ප්‍රතිශතය), ප්‍රවේශයhttps://data.worldbank.org/indicator/NY.GDP.MKTP.KD.ZG [අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 12] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.