නාලක ගොඩහේවා

ජනගහනයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ

"

කෘෂිකර්මාන්තයෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය 10%කට වඩා අඩු වුණාට කෘෂිකර්මාන්තයෙන් ජිවත්වන ජන කොට්ඨාසය මේ රටේ ජනතාවගෙන් 1/3ක්. 30%කට වැඩියි.

මව්බිම | ජූලි 1, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙරට කෘෂිකර්මාන්ත අංශය මත යැපෙන ජනගහනයේ ප්‍රතිශතය 30% වඩා වැඩි වන අතර කෘෂිකර්මාන්තය වෙතින් දළ දේශීය නිෂ්පාදිතය වෙත ලැබෙන දායකත්වය 10%  වඩා අඩු බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ සඳහන් කර  ඇත. කෘෂිකර්මාන්තය මත රඳා පවතින පිරිස, එම අංශය මගින් දළ දේශීය නිෂ්පාදිතය වෙත ලබා දෙන  දායකත්වයෙහි ප්‍රතිශය මෙන් තුන් ගුණයකටත් වඩා අධික බව ඔහු ඉදිරිපත් කරන සංඛ්‍යාවන් මගින් පෙන්නුම් කෙරේ. 

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාව විමසා බලනු පිණිස FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් පළ කර ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන වාර්තාව සහ දැනට පවතින ආසන්නතම ශ්‍රමබල සමීක්ෂණ සංඛ්‍යාන දත්ත පරිශීලනය කරන ලදි. 

2019 වසරේදී මෙරට කෘෂිකර්මාන්ත අංශය වෙතින් දළ දේශීය නිෂ්පාදිතය වෙත 7%  ක දායකත්වයක් ලැබී තිබුණු අතර එය රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කිරීමට යෙදුණු 10% ක සංඛ්‍යාවට වඩා අඩු අගයකි 

කෘෂිකර්මාන්තයෙහි නිරත වී සිටින ශ්‍රම බලකායෙහි ප්‍රතිශතය ප්‍රතියුක්ත මිම්මක් ලෙස යොදා ගනිමින් ජනගහනයෙන් එම අංශය මත යැපෙන පිරිස ඇගැයීමට ලක් කිරීමට FactCheck.lk පියවර ගත්තේය. 

වාර්ෂික සංඛ්‍යාන දත්ත ලබා ගත හැකිව පවතින අවසන් වර්ෂය වන 2019 දී කෘෂිකර්මාන්ත අංශයේ රැකියාවේ නියුතු ශ්‍රම බලකායෙහි ප්‍රතිශතය 25.3% ක් විය (2017-19 සඳහා වූ තුන් අවුරුදු සාමාන්‍යයද මීට අනුරූප වේ).  

කලින් කලට උච්චාවචනයන්ට බඳුන් වන කාර්තුමය ශ්‍රමබල සමීක්ෂණ දත්ත සැලකූ විට 2020 වසරේ අවසන් කාර්තුවට අදාළ එකී ප්‍රතිශතය 29.0% ක් ලෙස වාර්තා වේ. 

කෘෂිකර්මාන්තය මත යැපෙන ප්‍රතිශතය 30% වඩා වැඩි වන බවට රාජ්‍ය අමාත්‍යවරයා විසින් වඩා ඉහළ අගයක් ලෙසින් ප්‍රකාශ කරන්නට යෙදුණු සංඛ්‍යාවට මෙම අගය ආසන්න වේ. 

එමෙන්ම, කෘෂිකර්මාන්තය මත රඳා පවතින පිරිසෙහි ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතය වෙත එම අංශය වෙතින් ලැබෙන දායකත්වය මෙන් තුන් ගුණයක්ටත් වඩා වැඩි වේ. මේ බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද සංඛ්‍යාවන්ගෙන්ද හැඟවේ.   

රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද නිශ්චිත සංඛ්‍යා මගින් ජනගහනයෙන් කෘෂිකර්මාන්තය  මත යැපෙන පිරිස තරමක් දුරට අධිතක්සේරුවකට ලක් කෙරේ. 

කෙසේ නමුත්, කෘෂිකර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය පිළිබඳ ප්‍රකාශය මෙන්ම කෘෂිකර්මාන්තය මත යැපෙන සංඛ්‍යාව, දළ දේශීය නිෂ්පාදිතය වෙත කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වයට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි බවට නඟන තර්කයේ අදහසද දත්ත මගින් සනාථ වේ. 

මේ නිසා, රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය නිවැරදි යැයි අපි ප්‍රකාශ කරමු. 

 

** FactCheck.lk හි  නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම් 



මූලාශ්‍රය

සංඛ්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන 2020, පි. 16, ප්‍රවේශය:https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/otherpub/ess_2020_e1.pdf [අවසන් වරට ප්‍රවේශය2021 අගෝස්තු 12] 

 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයෙහි කාර්තුමය වාර්තාව, සිව්වන කාර්තුව – කාර්තුමය වාර්තාව – 2020, පි. 7, ප්‍රවේශය:    http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/QuarterlyReports/4thQuarter2020[අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 12] 

 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණ වාර්ෂික වාර්තාව – 2019, පි. 8, ප්‍රවේශය:  http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2019[අවසන් වරට ප්‍රවේශය: 2021 අගෝස්තු 12] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.