බන්දුල ගුණවර්ධන

ණය සැසඳීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවැරදි නොවන ගණනය කිරීමක

"

මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගන්නකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 2 යි. එතුමා රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10 කට ණය ප්‍රමාණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. [නමුත්] අපට [නැවත] රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 13 යි. තමුන්නාන්සේලා [යහපාලන රජය] අවුරුදු 5 කට ගත්තා, ට්‍රිලියන 6 ක්.

හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021

තොරතුරු පිරික්සීම

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරන ප්‍රධාන කරුණ වන්නේ, 2015-2019 කාලයට පෙර වූ අවුරුදු 10 ක කාලසීමාවට වඩා ඉතා ශීඝ්‍රයෙන්, 2015-2019 පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බර වැඩි වී ඇති බවයි. 

අමාත්‍යවරයා විසින් දැක්වූ සංඛ්‍යාවන්හි වැරදි නිවැරදි බව තක්සේරු කර බැලීම සඳහා, FactCheck.lk මඟින් 2004 සිට 2020 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSLවාර්ෂික වාර්තා, 2004 සිට 2020 දක්වා මුදල් අමාත්‍යාංශයේ (MoF) වාර්ෂික වාර්තා, සහ වෙරිටේ රිසර්ච් විසින් පළ කරන ලද, “ශ්‍රී ලංකාවේ ණය වැඩිවීම පිළිබඳ නොපැහැදිලිතාවයන් දුරු කිරීම (Demystifying increase in Sri Lanka’s debt) යන විදසුන පරිශීලනයට ගෙන ඇත. මෙම විදසුන මගින්, කාලපරිච්ඡේද දෙකක් අතර සිදු වී ඇති ණය වැඩිවීම ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදය විදහා දක්වයි. 

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාවන් මෙසේ දැක්විය හැක. 2005 සිට 2014 අවසානය දක්වා රටේ ණය මට්ටම 13.3% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් පෙන්වා ඇත. එසේම, 2015-2019 කාලය තුළ රටේ ණය මට්ටම, ඊට මඳක් අඩු, එනම් 13.2% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් පෙන්වා ඇත. අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශය, ඔහු විසින්ම දක්වන්නට යෙදුණු සංඛ්‍යාවන් හා පරස්පර විරෝධී වීමට අමතරව, ක්‍රමවේදය සැලකිල්ලට ගත් කළ, එලෙස දැක්වූ සංඛ්‍යාවන් ඔහු සිදුකිරීමට උත්සාහ ගත් සංසන්දය සඳහා යෝග්‍යයද නොවේ. (වෙරිටේ රිසර්ච් පළ කළ, “ශ්‍රී ලංකාවේ ණය වැඩිවීම පිළිබඳ නොපැහැදිලිතාවයන් දුරු කිරීම” යන විදසුන පරිශීලනය කරන්න.) 

ණය ලබා ගනුයේ දේශීය මෙන්ම විදෙස් මුදල් ඒකකවලින් වන බැවින්, ණය වැඩිවීම නිවැරදිව ගණනය කිරීමට නම්, ණය වැඩිවීම දේශීය මුදල් ඒකක සහ විදෙස් මුදල් ඒකකවලින් වෙන වෙනම ගණනය කොට, ඉන් පසුව එම වැඩිවීම සංසන්දනය සිදුකෙරෙන කාලයේදී පවතින විනිමය අනුපාතයන්ට අනුව ශ්‍රී ලංකා රුපියල්වලට හෝ ඇමරිකා එක්සත් ජනපද ඩොලර්වලට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ. අමාත්‍යවරයාගේ ප්‍රකාශය මත පදනම්ව, 2019 වසරේ අවසානය සංසන්දනය සිදුවන කාලය ලෙසින් ගෙන ගණනය කර ඇති දත්ත, නිදර්ශන අංක 1 මගින් පෙන්නුම් කෙරේ.  

නිදර්ශන අංක 1 ඔස්සේ දැක්වෙන ආකාරයට, 2005 සිට 2014 දක්වා ණය වැඩිවීම 2019 අග වන විට පැවතුණු විනිමය අනුපාතයන්ට පරිවර්තනය කළ විට, රුපියල් මිලියන 5,812,368 කට නැතිනම් ඇ.එ.ජ.ඩොලර් මිලියන 32,000 කට සමාන වේ. එසේම 2015 සිට 2019 දක්වා කාලය තුළ ණය වැඩිවීම ඉහත ක්‍රමවේදයටම බැලූ විට, රුපියල් මිලියන 4,105,553 ක් නැතිනම් ඇ.එ.ජ.ඩොලර් මිලියන 22,603 ක් ලෙසින් පෙන්විය හැක. ඒ අනුව, අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට පටහැණිව, නිරපේක්ෂව ගත් විටද 2005 සිට 2014 දක්වා කාලය තුළ ණය බරෙහි වැඩිවීම, 2015 සිට 2019 දක්වා කාලයට වඩා විශාල වේ. (සැලකිය යුතුයි: 2005 සිට 2014 දක්වා කාලය යනු වඩාත් දීර්ඝ කාලයක් වේ) 

ඒ හේතුවෙන්, ණය සඳහා සංයුක්ත වාර්ෂික වර්ධන වේගයද 2005 සිට 2014 දක්වා කාලය තුළ වඩාත් ඉහළ අගයක් ගෙන ඇත. 2005 සිට 2014 දක්වා ණය සඳහා සංයුක්ත වාර්ෂික වර්ධන වේගය අගය 11.3% ක් වී ඇති අතර, 2015 සිට 2019 දක්වා එම අගය 7.87% ක් පමණි. 

මේ අනුව කරුණු දෙකක් මත අමාත්‍යවරයාගේ ප්‍රකාශය දෝෂ සහිත වේ. පළමුව, ඔහු ඉදිරිපත් කරන සංඛ්‍යාවන්ම ඔහුගේ ප්‍රකාශයට සහය නොදක්වයි. දෙවනුව, සංසන්දනයේ අවශ්‍යතාවය සලකා බලන විටද, ඔහු ඉදිරිපත් කරන සංඛ්‍යාවන් දෝෂ සහිත වේ. නිවැරදි කරන ලද සංඛ්‍යාවන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, සාපේක්ෂ වශයෙන් මෙන්ම නිරපේක්ෂ වශයෙන්ද, 2004-2014 කාලසීමාවට වඩා 2015-2019 කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බර අඩුවෙන් වර්ධනය වූ බවයි.  

ඒ අනුව, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු. 

 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

2004 සිට 2020 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන්ගේ විවිධ සංස්කරණ 

2004 සිට 2020 දක්වා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවන්ගේ විවිධ සංස්කරණ 

“ශ්‍රී ලංකාවේ ණය වැඩිවීම පිළිබඳ නොපැහැදිලිතාවයන් දුරු කිරීම (Demystifying increase in Sri Lanka’s debt), වෙරිටේ රිසර්ච්, ප්‍රවේශයhttps://www.dailymirror.lk/other/Demystifying-increase-in-Sri-Lankas-debt/117-226501 [අවසන් වරට ප්‍රවේශය: 2022 ජනවාරි 19] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.