ලසන්ත අලගියවන්න

රාජ්‍ය අමාත්‍ය අලගියවන්න: LP ගෑස් සංයුතිය පිළිබඳ ගැටළුවට හේතුව පටලවා ගනී

"

මේ [එල්පී ගෑස්] ප්‍රශ්නය - [විශේෂයෙන්ම] බියුටේන් සහ ප්‍රොපේන් සං‍යුතිය පිළිබඳ තිබෙන ප්‍රශ්නය - ඇති වුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සකස් කරන ලද ප්‍රමිතිවල මේ සං‍යුතිය පිළිබඳ නැති නිසායි.

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ගෘහස්ථ ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස්වල (LP ගෑස්) ප්‍රොපේන් සහ බියුටේන් සං‍යුතිය ආරක්ෂිත මට්ටමේ පවත්වාගෙන යාම සහතික කිරීමට අපොහොසත් වීම, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් භාවිතා කරනු ලබන ප්‍රමිතීන් තුළ එහි සං‍යුතිය පිළිබඳ පිරිවිතර (specifications) සඳහන් කර නොමැති වීම කෙරෙහි බැර කිරීමට, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී උත්සාහ ගැනිණි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම ප්‍රමිතීන් තුළ සඳහන් කොට ඇත්තේ LP ගෑස්වල පීඩන මට්ටම පිළිබඳව පමණක් බවයි. 

රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම කරුණු දැක්වීමේ වැරදි නිවැරදිභාවය තක්සේරු කිරීම සඳහා, FactCheck.lk මඟින්, LP ගෑස් කර්මාන්තයේ යහපත් ආරක්ෂිත පිළිවෙත් සඳහා වන මාර්ගෝපදේශයන් පරිශීලනය කරන්නට යෙදිණි. එය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (United Nations Environment Programme – UNEP) සහයෝගයද ඇතිව ලෝක ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු සංගමය (World LP Gas Association – WLPGA) ප්‍රකාශයට පත් කළ විස්තරාත්මක මාර්ගෝපදේශ සංග්‍රහයකි. නිදර්ශන අංක 1 තුළ දක්වා ඇති පරිදි, මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මගින්, ඉතාමත් වැදගත් ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ භාවිතය පිළිබඳ සංහිතාවන් කිහිපයක්ම ආවරණය කෙරේ. 

බොරතෙල් ඔස්සේ ලබාගන්නා, හයිඩ්‍රොකාබනික පදනමක් සහිත වායු සමූහයක් LP ගෑස් යන්නෙන් හැඳින්වේ. ප්‍රොපේන් සහ බියුටේන් එහි මූලික සංඝටක වේ. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී සහ පීඩනයේදී ප්‍රොපේන් හා බියුටේන් යන දෙකම වායු අවස්ථාවේ පවතින අතර, පීඩනයන් යටතේදී හෝ අවශූන්‍ය උෂ්ණත්වයන්හිදී ප්‍රොපේන් හා බියුටේන් ද්‍රව අවස්ථාවට පත්වේ. ප්‍රොපේන් හා බියුටේන් අතර භෞතික ගුණාංගයන්හි ද සැලකිය යුතු වෙනස්කම් පවතී. වඩාත් වාෂ්පශීලී ගුණ දරන ප්‍රොපේන්, සෙල්සියස් අංශක සෘණ හතළිස් දෙකේ (–42°C) දී වායුවක් බවට පත් වන අතර, බියුටේන් වායුවක් බවට පත්වන්නේ සෙල්සියස් අංශක බිංදුවේදීය (0°C). එනිසා, මෙම වායු මිශ්‍රණය ද්‍රව අවස්ථාවේ තබා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරය තුළ තිබීමට අවශ්‍ය වන පීඩනය, ප්‍රොපේන් සහ බියුටේන් අතර අනුපාතය මත රඳා පවතී. එනම්, වායු මිශ්‍රණයේ ප්‍රොපේන් මට්ටම වැඩි වූ විට (ශ්‍රී ලංකාවේ සිදු වූ ආකාරයට), උෂ්ණත්වය යම් නිශ්චිත අගයක නියතව පවතිද්දී, ගෑස් සිලින්ඩරය තුළ ඇති පීඩන මට්ටම ද වැඩිවේ. 

ඒ අනුව, අනෙකුත් තත්ත්වයන් (පරිමාව සහ උෂ්ණත්වය වැනි) නියතව පවතින විට, පීඩනය මත පවතින සීමාව මගින්, මිශ්‍රණයේ සං‍යුතිය කෙරෙහිද සීමාවක් පැනවේ. මෙය මේ සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන් සකස් කිරීමේදී ද හඳුනාගැනී ඇති අතර, එම ප්‍රමිතීන් තුළ පවා LP ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සඳහා තනි නිශ්චිත අනුපාතයක් සඳහන්ව නොතිබුණද, උපරිම පීඩනය සම්බන්ධයෙන් එහිදී විශේෂ කොට සඳහන් වේ. 

ඒ අනුව, දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් ඔස්සේ ද සඳහන් කර ඇති පීඩන මට්ටම පිළිබඳ ප්‍රමිතීන් මඟින්, LP ගෑස්වල සං‍යුතිය සම්බන්ධයෙන් ද සඵලකාරීව යම් සීමාවක් පනවා සිටී. එනිසා, ඉහත සඳහන් බියුටේන් සහ ප්‍රොපේන් සං‍යුතිය පිළිබඳ ගැටළුව, භාවිතා වන ප්‍රමිතීන් තුළ මිශ්‍රණයේ සං‍යුතිය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර නොතිබීම කෙරෙහි බැර කළ නොහැකි වන අතර, ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය දෝෂ සහගත වේ. 

එනිසා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු. 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ලෝක ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු සංගමය (World LP Gas Association – WLPGA) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (United Nations Environment ProgrammeUNEP). (2008). ගෘහස්ථ ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු කර්මාන්තයේ යහපත් ආරක්ෂිත පිළිවෙත් සඳහා වන මාර්ගෝපදේශයන් (Guidelines for Good Safety Practices in the LP Gas Industry).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.