ගෝඨාභය රාජපක්ෂ

විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය

"

මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත.

නිව්ස්වයර් | ජනවාරි 7, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ජනපතිගේ ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සොයාබැලීම උදෙසා, FactCheck.lk මඟින් මුදල් අමාත්‍යාංශයේ (MoF) 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව සහ 2022 වසර සඳහා වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පරිශීලනයට ගෙන ඇත. 

දෙන ලද ඕනෑම කාලසීමාවක් සැලකිල්ලට ගත් විට, මින් පෙර එකඟ වූ ණය ගනුදෙනුවල මුදල් ගෙවීම් ලෙසින් සහ එකඟ වන නව ණය ගනුදෙනු ලෙසින් යන ආකාර දෙකම ඔස්සේ ශ්‍රී ලංකාවට විදේශ ණය ලැබේ. 

2020 ජනවාරි සිට 2021 අගෝස්තු දක්වා කාලසීමාව තුළ, ශ්‍රී ලංකාවට ඊට පෙර එකඟ වූ ණය ගනුදෙනුවල මුදල් ගෙවීම් ලෙසට, ඇමරිකානු ඩොලර් මිලියන 3,467 ක් ලැබී තිබේ. එසේම, එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2,962 ක නව ණය බැඳීම් සඳහාද ප්‍රවිශ්ට වී තිබේ (නිදර්ශන අංක 1 බලන්න). චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1,308 ක ණය මුදලද ඇතුළුව, මෙම නව ණය බැඳීම්වලින් ඇතැමක මුදල් මේ වන විටත් ලැබී තිබේ. ඒ අනුව, මෙම සංඛ්‍යාවන් ජනපතිගේ ප්‍රකාශයට පරස්පර විරෝධී වේ. 

ජනපතිවරයා තම ප්‍රකාශය තුළින් සඳහන් කිරීමට අදහස් කරන ලද්දේ ලබාගත් සහනදායි බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය ණය සම්බන්ධයෙන් නොව, නව මූල්‍ය වෙළඳපොළ ණය පිළිබඳව පමණක් නම්, එහිදීද ජනපතිවරයාගේ ප්‍රකාශය දෝෂසහගත බව මෙම කරුණ වෙනත් ආකාරයකට සලකා බැලුවහොත් පෙනී යයි. මුදල් අමාත්‍යාංශයට අනුව, 2020 ජනවාරි සිට 2021 අගෝස්තු දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාව, ඇමරිකානු ඩොලර් මිලියන 1,308 ක වටිනාකමකින් යුත් මූල්‍ය වෙළඳපොළ ණය ලබාගෙන තිබේ. 

මේ අනුව, තමන්ගේ ධූර කාලය තුළ කිසිදු විදේශ ණයක් ලබාගෙන නැත යනුවෙන් පැවසෙන ජනපතිවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ. ඔහුගේ ප්‍රකාශය තුළින් කියැවෙන්නේ 2020 වසරෙන් පසුව එකඟ වූ නව ණය බැඳීම් පිළිබඳව යැයි හෝ නව මූල්‍ය වෙළඳපොළ ණය පිළිබඳව යැයි හෝ උපකල්පනය කළද එහි නිරවද්‍ය බවක් නොපවතී. 

ඒ අනුව, ජනපතිවරයාගේ ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු. 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

නිව්ස්වයර් (NewsWire). 2022. මගේ අවුරුදු දෙක ඇතුළත සතයක් වත් විදේශ ණය අරගෙන නැහැ – ජනපති (No foreign loans have been taken during my two years” President) – නිව්ස්වයර් [ඔන්ලයින්] ප්‍රවේශය: <https://www.newswire.lk/2022/01/07/no-foreign-loans-h-been-taken-during-my-two-years-president/> [අවසන් වරට ප්‍රවේශය: 2022 ජනවාරි 25]. 

 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2022,  ප්‍රවේශය: https://www.treasury.gov.lk/api/file/16e9c6ec-7a13-4220-a8a7-1427c5d14785  

 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2020, ප්‍රවේශය: https://www.treasury.gov.lk/p/annual-reports  

 ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය, 2021 සැප්තැම්බර්, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20211115_external_sector_performance_september_2021_e.pdf  

ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය, 2021 අප්‍රේල්, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20210617_external_sector_performance_april_2021_e.pdf  

ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය, 2020 මාර්තු, ප්‍රවේශය:: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20200601_external_sector_performance_march_2020_e.pdf  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.