රුවන් විජයවර්ධන

එජාප උපනායක විජයවර්ධන, කොවිඩ්-19 මරණ සංඛ්‍යාව පිළිබඳව වැරදි අතට බර විශ්ලේෂණයක් සිදු කරයි

"

පැයකට රෝගීන් 10 ක් මිය යන බව පැවසෙනවා. රෝගීන් මිය යාමේ වේගය 1.5% ක්. කොවිඩ් රෝගයෙන් ආසියාවේ වැඩිම මරණ අනුපාතය වාර්තා වන රට බවට ලංකාව පත්වෙලා.

අරුණ | අගෝස්තු 12, 2021

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

(1) ශ්‍රී ලංකාවේ සෑම පැයකටම වරක් කොවිඩ්-19 රෝගීන් 10 දෙනෙකු මිය යන බවත්, (2) ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන්ට සාපේක්ෂව කොවිඩ්-19 මරණවල අනුපාතය 1.5% ක් බවත්, (3) [තම ප්‍රකාශය සිදු කෙරුණු අවස්ථාවේදී, එනම් අගෝස්තු 11 දින වන විට] ආසියාතික කලාපයේ වැඩිම දෛනික කොවිඩ්-19 මරණ අනුපාතයක් වාර්තා වනුයේ ශ්‍රී ලංකාවෙන් බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සිය ප්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇත. 

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සොයාබැලීම සඳහා, FactCheck.lk මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ සහ Our World in Data වෙබ් අඩවියේ දත්ත පරිශීලනය කර ඇත. 

හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ පළමු කරුණ ගතහොත්, වසංගත රෝග විද්‍යා අංශයෙන් වාර්තා කර ඇති පරිදි, 2021 අගෝස්තු 1 සිට 11 දක්වා කාලය තුළ දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 87.27 ක සාමාන්‍ය අගයක් පෙන්වා ඇත. මෙය අගෝස්තු 11 දින වන විට, කොවිඩ්-19 මරණ 118 ක උපරිමයකට ළඟා වී ඇත. මෙසේ, වාර්තා වූ ඉහළම මරණ අනුපාතය ඇති දිනය ගත් විට (ප්‍රකාශය සිදු කළ දිනය දක්වා කාල පරාසය සලකා බැලීමෙන් අනතුරුව), එදින පැයකට මරණ අනුපාතය ලෙසින් සටහන් වන්නේ 4.917 කි. මෙය හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් වන පැයකට මිය යන රෝගීන් සංඛ්‍යාව 10 ක් වූ අගයට වඩා ඉතාමත්ම අඩු අගයකි (නිදර්ශන අංක 1 බලන්න). 

ඉහත ප්‍රකාශයේ දෙවෙනි කරුණ ගත් විට, කොවිඩ්-19 මරණ අනුපාතය, වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව හෝ සමස්ත ජනගහනය ඔස්සේ හෝ ඇගයුම් කළ හැක. එසේම, එය දෛනික පදනමකින් හෝ සමුච්චිත පදනමකින්ද ඇගයුම් කළ හැක. මෙසේ, කොවිඩ්-19 මරණ අනුපාතය සාකච්ඡාවට ගැනීමට හැකි ආකාරයන් හතරක් හඳුනාගත හැකි අතර, FactCheck.lk එම ආකාරයන් හතරම ඔස්සේ ගණනය කිරීම් සිදුකර ඇත. මෙහිදී FactCheck.lk විසින් Our World in Data වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකි සංඛ්‍යාලේඛන මත පදනම්ව, ආසියාතික කලාපයේ දිනකට අඩුම තරමින් කොවිඩ්-19 රෝගීන් 500ක් හෝ වාර්තා වන රටවල් සංසන්දනය කරමින් එම ගණනය කිරීම්  සිදු කර ඇත. 

ඒ අනුව බැලූ විට, අගෝස්තු 11 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සමුච්චිත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 1.6% ක් වී ඇත. එය, හිටපු මන්ත්‍රීවරයා සිය ප්‍රකාශයේ සඳහන් කළ 1.5% ක අගය හා ඉතා ආසන්න වශයෙන් සැසඳේ (නිදර්ශන අංක 2 බලන්න). 

ඔහුගේ ප්‍රකාශයේ තුන්වෙනි කරුණ ගතහොත්, අගෝස්තු 11 වැනි දින වන විටඑදින වාර්තා වූ මරණ සංඛ්‍යාව සහ සමුච්චිත දෛනික මරණ සංඛ්‍යාව සලකා බලන විට, ආසියාතික කලාපයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ්-19 මරණ අනුපාත සහිත රටවල් අතරින් පිළිවෙලින් 6 වැනි සහ 8 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසු විය. පුද්ගලයින් මිලියනයක් සඳහා එදින වාර්තා වූ මරණ සංඛ්‍යාව සහ පුද්ගලයින් මිලියනයක් සඳහා දක්නට ලැබුණු සමුච්චිත මරණ සංඛ්‍යාව සලකා බලන විට, ශ්‍රී ලංකාව පිළිවෙලින් ආසියාතික කලාපයේ 4 වෙනි ස්ථානයේ සහ 16 වෙනි ස්ථානයේ පසු විය. ඒ අනුව, හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සිදුවන අවස්ථාව වන විට, ඉහත කී මිනුම් හතරෙන් කුමන මිනුමක් යොදාගෙන ගණනය කර බැලුවද, ශ්‍රී ලංකාව ආසියාතික කලාපයේ ඉහළතම කොවිඩ්-19 මරණ අනුපාතය වාර්තා කර නොමැත. 

ශ්‍රී ලංකාවේ සෑම පැයකටම වරක් සිදුවන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව පිළිබඳව සහ ශ්‍රී ලංකාව ආසියාතික කළාපයේ ඉහළම කොවිඩ්-19 මරණ අනුපාතය වාර්තා කරන බවට හිටපු මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයන් ඒ අනුව නිවැරදි නොවේ යැයි පෙන්වා දිය හැක. කෙසේ නමුත්, “කොවිඩ්-19 රෝගීන් මිය යාමේ වේගය 1.5% ක්” වන බවට ඔහු සිදු කළ ප්‍රකාශය, වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සමුච්චිත මරණ සංඛ්‍යාව සලකා බැලූ කළ ඉතා ආසන්න වශයෙන් සැසඳේ. 

ඒ අනුව, හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදි යැයි අපට පැවසීමට හැක. 

**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයිඅපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

Our World in Data වෙබ් අඩවියකොරෝනා වෛරස්එන්නත්කරණයන්, Our World in Data කොවිඩ්-19 දත්තප්‍රවේශයhttps://covid.ourworldindata.org/data/owid-covid-data.csv [අවසන් වරට ප්‍රවේශය: 2021 සැප්තැම්බර් 03] 

වසංගත රෝග විද්‍යා අංශය – සෞඛ්‍ය අමාත්‍යාංශයකොවිඩ්-19 දෛනික තත්ත්ව වාර්තාවප්‍රවේශය: https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=225&lang=en [අවසන් වරට ප්‍රවේශය: 2021 සැප්තැම්බර් 07] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.