ඉරාන් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ වාර්තාගත ණය පොලී ගෙවීම් පිළිබඳව මන්ත්‍රී වික්‍රමරත්නගේ ගණන් හිලවු නිවැරදියි!

"

රජයේ ආදායමෙන් 70% ක් ණය සඳහා පොලී නැවත ගෙවීමට වැය වෙනවා. ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාව හැරෙන්නට ණය සඳහා වැඩිම පොලියක් ගෙවන ලෝකයේ එකම රට වෙන්නේ ලෙබනනය පමණයි.

ඩේලි එෆ්ටී | අගෝස්තු 5, 2021

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමරත්න විසින් තම ප්‍රකාශය තුළ කරුණු දෙකක් සඳහන් කරයි. (1) ණය පොලී ආපිට ගෙවීමට රජයේ ආදායමෙන් 70% ක් වියදම් වන බවත්, (2) ශ්‍රී ලංකාව හැරුණු විට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය පොලී සඳහා ගෙවන ලෝකයේ එකම රට වන්නේ ලෙබනනය පමණක් බවත් යනු එම කරුණු දෙක වේ. මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන් සහ, ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදාය පරිශීලනය කර ඇත. 

ප්‍රකාශයේ 01 වෙනි කරුණ: 2020 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ණය සඳහා ගෙවිය යුතු පොලිය රාජ්‍ය ආදායමෙන් කොටසක් ලෙසින් ගත් විටඑය 2019 දී 47.7% ක් වූ අතර, 2020 වන විට එය 72% ක් දක්වා ඉහළ නැඟ ඇත. මෙම ප්‍රතිශතය වැඩි වී ඇත්තේ, ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රමාණය වැඩි වීමත්, 2020 වසර වන විට රජයේ ආදායම අඩු වීමත් නිසා වේ (නිදර්ශක අංක 01 බලන්න). ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශයේ පළමු කරුණ තුළ සඳහන් කරන 70% යන සංඛ්‍යාවෙන්, 2020 වසර සඳහා වූ ණය පොලී ආපිට ගෙවීම් රාජ්‍ය ආදායමෙන් කෙතරම් කොටසක් වූයේද යන්න පිළිබිඹු වේ. 

ප්‍රකාශයේ 02 වෙනි කරුණ: ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදාය, මේ වන විට 2019 දක්වා, ලෝකයේ රටවල් 117 ක් සම්බන්ධයෙන් (ශ්‍රී ලංකාවද ඇතුළත්ව) ලබාගැනීමට හැක. එහි සඳහන් වන ආකාරයට, 2019 වසර සඳහා වූ ණය පොලී ආපිට ගෙවීම් ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට එය 47% ක අගයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ලෝකයෙන් දෙවෙනියට ඉහළම තැන සිටී. ලෙබනනය 51% ක අගයක් වාර්තා කරමින් ඒ සම්බන්ධයෙන් ලෝකයේ පළමු තැන සිටී (නිදර්ශක අංක 02 බලන්න). මෙය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන දෙවන කරුණ හා සැසඳේ. 

මෙසේ ගත් විට, 2020 වසර සඳහා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ පළමු කරුණ නිවැරදි වන අතර, ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදායේ දත්ත ලබාගැනීමට ඇති ආසන්නතම වසර වන 2019 සඳහා, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ දෙවැනි කරුණද නිවැරදි වේ. ඒ අනුව, ඔහුගේ ප්‍රකාශය නිවැරදි වේ යැයි අපි පවසමු. 

 

**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



Additional Note

සටහන: 2020 වසරේදී ලෙබනනය සිය ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව 2020 දී, ලෙබනනය ණය පොලී ලෙසින් ගෙවිය යුතු මුදල සිය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 18% ක් පමණක් වී ඇත. ඒ අනුව, 2020 වසර සඳහා ණය පොලී ආපිට ගෙවීම් ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙසින් ගත් විට 72% ක අගයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල්වලින් ඒ සම්බන්ධයෙන් ඉහළම තැනට පැමිණ ඇත (විශාල ණය බර දරන රටවල් අතර ආදායමට සාපේක්ෂව ණය පොලී ගෙවීමේ ප්‍රතිශතය දක්වා ඇති, වෙරිටේ රිසර්ච් පර්යන්තයක් වන Publicfinance.lk හි දත්ත ඇතුළත් නිදර්ශක අංක 03 බලන්න). 


මූලාශ්‍රය

ලෝක බැංකුව, දත්ත සමුදාය – ලෝක සංවර්ධන දර්ශකය, ප්‍රවේශයhttps://databank.worldbank.org/source/world-development-indicators [අවසන් වරට ප්‍රවේශය 2021 අගෝස්තු 25]

ලෝක බැංකුව, “Lebanon Economic Monitor – Lebanon Sinking (To the Top 3) – Spring 2021”ප්‍රවේශය https://documents1.worldbank.org/curated/en/394741622469174252/pdf/Lebanon-Economic-Monitor-Lebanon-Sinking-to-the-Top-3.pdf [අවසන් වරට ප්‍රවේශය 2021 අගෝස්තු 30]

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2020, ප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2020 [අවසන් වරට ප්‍රවේශය 2021 අගෝස්තු 25]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.