රනිල් වික්‍රමසිංහ

උද්ධමනය පහළ යාම සහ මිල ගණන් පහත වැටීම ගැන ජනපතිට කරුණු පැටලේ

"

සියයට 70 ක් දක්වා අහස උසට නැග තිබූ උද්ධමනය අපගේ එදිනෙදා ජීවන බර සැහැල්ලු කරමින් මේ වන විට සියයට 25.3 දක්වා අඩු වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව | ජූනි 1, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ ඇතුළත් කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකය (National Consumer Price Index – NCPI) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (Colombo Consumer Price Index – CCPI) පරිශීලනය කර ඇත.

පාරිභෝගික මිල දර්ශක මගින් තෝරාගත් පාරිභෝගික අයිතම පැසක සමස්ත මිල මට්ටම  ගණනය කරනු ලබයි  (ජනතාව තම වියදම් සඳහා මුදල් වෙන් කරන ආකාරය අනුව). වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය යන සංඛ්‍යාලේඛනය මගින් අනුක්‍රමික වසර දෙකක එකම මාසය සඳහා පැවති පදනම් දර්ශකයේ ‌අගයන් අතර වෙනසේ ප්‍රතිශතය වාර්තා කරනු ලැබේ.

ජනාධිපතිවරයා විසින් උපුටා දක්වන ලද උද්ධමනය පිළිබඳ දත්ත (70% සහ 25.2%) ජාතික පාරිභෝගික මිල දර්ශකයට වඩා කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට අදාළ දත්ත හා වඩාත් සැසඳේ (අංක 1 වගුව බලන්න). කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය සඳහා වාර්තා කළ ඉහළම අගය 2022 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අතර එය 69.8% ක්  විය. 2023 මැයි මාසයේදී එය 25.2% ක් විය.

2022 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනයට සාපේක්ෂව 2023 මැයි මාසයේ වාර්තා වූ වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය අඩු වීම පදනම් කොටගෙන ජනතාවගේ “එදිනෙදා ජීවන බර” වර්තමානය වන විට “සැහැල්ලු වී” ඇති බව ජනාධිපතිවරයා නිගමනය කරයි . එහෙත්, ජීවන බර සැහැල්ලු වන්නේ මිල ගණන් අඩු වුවහොත් පමණි. දර්ශක අගයක් ලෙස ගත් විට 2022 සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය 189.3 ක් වූ අතර මැයි මාසයේදී එය 192.3 ක් විය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය සමස්ත මිල මට්ටම ගණනය කරන බැවින් අදාළ කාල පරිච්ඡේදය තුළ මිල ගණන් 1.6% ක් වැනි සුළු අගයකින් ඉහළ ගොස් ඇති බව මෙම අගයන් පෙන්වයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන පරිදි මිල ගණන් අඩු වී නොමැත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි යනුවෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙන කරුණ නිවැරදි වන නමුත්, එම නිසා ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී ඇති බවට ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති ප්‍රකාශය නිවැරදි නොවේ.

එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නෙමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය (2022 සැප්තැම්බර් – 2023 මැයි)

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කො.පා.මි.ද විචලනයන්, පාද වර්ෂ 2013 සහ 2021, ජ.පා.මි.ද විචලනයන්, පාද වර්ෂ 2013 සහ 2021



මූලාශ්‍රය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (පදනම 2021=100), කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100), කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2021=100), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනයන්, http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.