හරින් ප්‍රනාන්දු

චීන සංචාරකයන් ගැන අමාත්‍ය හරීන්ගේ බලාපොරොත්තු “චීන මහා ප්‍රාකාරයට” වඩා ලොකුයි

"

සෑම චීන ජාතික සංචාරකයෙක්ම ඩොලර් 5,000 ක් වියදම් කළොත් ලැබෙන ආදායම අපට IMF සංවිධානයෙන් ලැබෙන සහනය හා සමානයි. ඇත්තටම බැලුවොත්, ශ්‍රී ලංකාව මේ අවුලෙන් ගොඩගන්න සංචාරක ව්‍යාපාරයට පුළුවන්

Adaderana.lk | මැයි 22, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලින් මුදවා ගැනීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) ලැබෙන සහයට ආදේශකයක් ලෙසත් සංචාරක ව්‍යාපාරයේ ආදායම යොදා ගත හැකි වනු ඇතැයි යන අදහස සමස්තයක් වශයෙන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් කියැවේ. එම කරුණ තවදුරටත් විස්තර කරමින් අමාත්‍යවරයා පවසා සිටින්නේ එක් චීන ජාතික සංචාරකයෙකු එ.ජ.ඩොලර් 5,000 ක මුදලක් වියදම් කළහොත් එමගින් මෑතකදී IMF සංවිධානය වෙතින් ලැබුණු මුදලට සමාන මුදලක් එකතු කර ගත හැකි බවයි.

මෙම ප්‍රකාශයේ සඳහන් කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික වාර්තාවල ඇතුළත් ඉකුත් වර්ෂවල ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික හා අනෙකුත් සංචාරකයින් සංඛ්‍යාව, ඔවුන් මෙරට රැදී සිටි සාමාන්‍ය දින ගණන සහ ඔවුන්ගේ දෛනික වියදම ලෙස තක්සේරු කරන ලද මුදල අන්තර්ගත දත්ත පරීක්ෂා කරන්නට යෙදිණි.

චීන ජාතික සංචාරකයින් මෙරට රැඳී සිට ඇති වැඩිම දින ගණන 2016 වර්ෂයේදී වාර්තා වූ අතර එය දින 10.4 ක් ලෙස සටහන් විය. මෙරටට පැමිණි සියලුම සංචාරකයින්ගේ දෛනික වියදමෙහි උච්චතම අගය 2019 දී වාර්තා වූ අතර එය එ.ජ.ඩොලර් 181.2 ක් ලෙස වාර්තා විය.මෙම වාර්තාගත අගයන් දෙකම එක් වර්ෂයක් තුළ ළඟා කර ගත් අවසථාවක් යටතේ වුව ද එක් චීන ජාතික සංචාරකයෙකු විසින් එක් සංචාරයකදී වියදම් කරනු ලබන්නේ එ.ජ. ඩොලර් 1884 ක් පමණි (10.4 x 181.2). එබැවින්, චීන ජාතික සංචාරකයින් එක් සංචාරයකදී එ.ජ. ඩොලර් 5,000 ක් වියදම් කිරීමේ තත්ත්වක් පදනම් කරගනිමින් අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කල්පිතය යථාර්තවාදී නොවේ.

ඉකුත් වර්ෂවල වාර්තාගත වැඩිම චීන ජාතික සංචාරකයින් සංඛ්‍යාව 271,577 ක් ලෙස 2016 දී වාර්තා විය. එක් වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතික සංචාරකයින් ගණන 500,000 ක් දක්වා වැඩි කිරීමට ඇති සැලසුමක් පිළිබඳව අමාත්‍යවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය තුළින් අවධාරණය කෙරේ. එම සංචාරකයින්, එක් සංචාරයකදී වඩා යථාර්තවාදී අගයක් වන එ.ජ. ඩොලර් 1,884 ක් වියදම් කළහොත් ඉන් උත්පාදනය කළ හැකි ආදායම එ.ජ.ඩොලර් මිලියන 942 කි. මෙම අගය IMF සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන එ.ජ.ඩොලර් මිලියන 725 ඉක්මවා යන අගයකි. එහෙත්, IMF වැඩසටහනේ ආධාර ලැබෙන්නේ දැනටමත් චීන ජාතික සංචාරකයන් විසින් සිදු කරනු ලබන වියදම්වලට අමතරව යන වග මෙහිදී නොසලකා හැර තිබේ.

මෙරටට පැමිණෙන චීන ජාතික සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් එයින් ලැබෙන ආදායම IMF සංවිධානයෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර මුදලට සමාන වන තත්ත්වයක් ඇති වුව ද එම ආදායම IMF සංවිධානයෙන් ලැබෙන ආධාර සඳහා ආදේශකයක් ලෙස යොදා ගත හැකි බව හා ඊට ශ්‍රී ලංකාව පත්ව ඇති

‘අවුලෙන් මුදා ගත හැකි වේ’ යැයි පැවසීම වරදවා වටහා ගැනීමකි. ආර්ථික ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමට පොරොන්දු කරවා ගැනීමේත්, ජ්‍යාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමේත්, වත්මන් තත්ත්වය තුළ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ජ්‍යාත්‍යන්තර එකඟතාවය ලබා ගැනීම සඳහා නිර්දේශ පැනවීමේත් වැඩපිළිවෙලක් ලෙස IMF සහය ප්‍රධාන වශයෙන් ක්‍රියා කරයි.

චීන ජාතික සංචාරකයින්ගෙන් ලබා ගත හැකි පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් ගොඩනඟා ඇති කල්පිතය යථාර්තවාදී නොවේ. කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ කල්පිතයේ ඇතුළත් පුරෝකථනයන්ගෙන් යම් සීමිත ප්‍රමාණයක් සාක්ෂාත් කර ගත්ත ද ඔහුගේ ගණනය කිරීම් නිවැරදි වේ. එහෙත්, IMF සංවිධානයෙන් ලැබෙන මුදල වෙනත් විකල්ප මූලාශ්‍රයකින් පියවා ගැනීම මගින් එය IMF වැඩසටහන මගින් ‘ශ්‍රී ලංකාව මෙම අවුලෙන් මුදා ගැනීම’ සඳහා සිදු කරනු ලබන සමස්ත කාර්යභාරයට ආදේශකයක් වෙතැයි පැවසීම වරදවා වටහා ගැනීමකි . එබැවින්, අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, වාර්ෂික වාර්තා (වීවිධ වර්ෂයන් සඳහා), ප්‍රවේශය at https://www.sltda.gov.lk/en/statistics

වෙරිටේ රිසර්ච් , Tourism Could Not Have Solved Sri Lanka’s Foreign Exchange Shortage (සංචාරක ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය විසඳන්න පුළුවන්කමක් තිබුණේ නැහැ)https://www.veriteresearch.org/wp-content/uploads/2022/09/VR_EN_Insights_Sep2022_Tourism-Could-Not-Have-Solved-Sri-Lankas-Foreign-Exchange-Problem.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.