කබීර් හෂීම්

පා.ම. හෂීම් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ඉහළ යාම ගැන තතු පහදයි

"

2019 වෙනකොට …මේ රටේ දරිද්‍රතා රේඛාව දරිද්‍රතාවයෙන් පෙළෙන අය රටේ හිටියේ 11%යි…2023 අද වෙනකොට එය 25%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මං විශ්වාස කරනවා ඊට වඩා වැඩියි කියලා. හැබැයි ලෝක බැංකුව ගණනය කරලා තියෙන්නේ 25%යි කියලා, ඒ කියන්නේ මේ රටේ මිලියන 22කින් මිලියන 5.5ක්ම දුප්පත්.

පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 12, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. හෂීම් තම පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ කර සිටින්නේ 2019 වසරේ සිට දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ලෝක බැංකුවේ දරිද්‍රතාවය සහ අසමානතාව පිළිබඳ වේදිකාව, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සහ සමානාත්මතාව පිළිබඳ ලෝක බැංකු වාර්තාව (අප්‍රේල් 2023) සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඔස්සේ ලබාගත් ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණය 2019 (HIES) යන දත්ත පරිශීලනය කර ඇත.

ලෝක බැංකුව (World Bank) විසින් 2017 පැවති මිලගණන් මත පදනම්ව “දරිද්‍රතා රේඛාව” නිර්වචනය කර ඇති අතර ශ්‍රී ලංකාව වැනි පහළ-මැදි ආදායම් රටවල් ලෙස වර්ගීකරණය කර ඇති රටවල් සඳහා එය එ.ජ.ඩොලර් 3.65 ක් ලෙස නිර්වචනය කර ඇත. මෙම අගය 2019 දී ශ්‍රී ලංකාව සඳහා දිනකට රු. 214.20 ට (මසකට රු. 6,515 ට) සමාන වූ බවට ලෝක බැංකුව විසින් ගණනය කරන ලදි.

යම් කිසි ගෘහ ඒකකයක ඒක පුද්ගල ආදායම දරිද්‍රතා රේඛාවෙන් පහළ මටට්මක තිබේ නම් එම ගෘහ ඒකකයට අයත් සියලුම සාමාජිකයින් දිළිඳු පුද්ගලයින් ලෙස සැලකේ. 2019 දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 11.3% ක් දරිද්‍රතාවයෙන් පෙළුණු බවත්, 2022 දී එය 25.0% කින් වැඩි වී ඇති බවත් භාවිතයට ගෙන ඇති දරිද්‍රතා රේඛාව මත පදනම්ව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත (අංක 1 වගුව බලන්න). කෙසේ වෙතත්, 2020 සිට මෙම ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ සමාකරණයන් (simulations) මත මිස යාවත්කාලීන කරන ලද සමීක්ෂණ දත්ත මත නොවන බව සැලකිල්ලට ගත යුතුය.

යම් කිසි භාණ්ඩ පැසක් මිලදී ගැනීමට ඇති හැකියාව යන්නෙන් ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව අර්ථ දක්වනු ලැබේ. 2019 සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණය මත පදනම්ව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව ලෝක බැංකුවේ දරිද්‍රතා රේඛාවට වඩා ඉහළ මට්ටමක පවතින අතර එය මසකට එක් පුද්ගලයෙකුට රු. 6,966 ක් විය. 2019 දී මුළු ජනගහනයෙන් 14.3% ක් මෙම දරිද්‍රතා රේඛාවට පහළින් සිට බව එමගින් පෙන්වා දී ඇත. උද්ධමනය මත පදනම්ව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සෑම මසකම දරිද්‍රතා රේඛාව යාවත්කාලීන කරනු ලැබේ. 2022 දෙසැම්බර් මාසය වන විට එය මසකට එක් පුද්ගලයෙකුට රුපියල් 13,777 ක් විය. කෙසේ වෙතත්, දරිද්‍රතාවයෙන් පෙළෙන සමස්ත ජනගහනය හඳුනා ගැනීම සඳහා ගණනය කරන ලද යාවත්කාලීන නිල සංඛ්‍යාවන් නොමැත.

ලෝක බැංකුව විසින් 2022 වර්ෂයේ දරිද්‍රතාවය පිළිබඳව ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තු වෙනුව‌ට යොදා ගත හැකි විකල්පයන් කිහිපයෙන් එකක් වන්නේ, LIRNEasia ආයතනය විසින් 10,000 ක සාම්පලයක් මත 2023 දී සිදු කරන ලද ජාතික සමීක්ෂණයයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 31% ක් රු. 13,777 දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බව එම සමීක්ෂණය ඇස්තමේන්තු කර ඇත. 2019 සිට දරිද්‍රතාවය දෙගුණයකට වඩා වැඩි වී ඇති බවට ලෝක බැංකුව සිදු කළ පුරෝකථනය මෙන්ම සමස්ත දරිද්‍රතාවය ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට වඩා වැඩි විය හැකි බවට පා.ම ඉදිරිපත් කළ අදහස ද එම අධ්‍යයනය මගින් තහවුරු කෙරේ.

පා.ම සිදු කළ ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව ලෝක බැංකුව විසින් සිදු කරන ලද ඇගැයීම් මෙන්ම වත්මන් දරිද්‍රතා මට්ටම පිළිබඳ නිල නොවන ඇස්තමේන්තු සමඟ ද සැසඳේ. එබැවින්, අපි පා.ම. කබීර් හෂීම්ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන:

දරිද්‍රතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි හා එය නිර්වචනය කළ හැකි විවිධ ක්‍රම පැවතීම හේතුවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් සංඛ්‍යාව නිශ්චය කර ගැනීම සංකීර්ණ කාර්යයකි. දරිද්‍රතාවය තක්සේරු කිරීම සඳහා වඩාත් බහුලව භාවිතා වන ක්‍රමය පදනම් වී ඇත්තේ දරිද්‍රතා රේඛාව ලෙස අර්ථ දක්වා ඇති අවම මට්ටමේ පරිභෝජනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා යම්කිසි ගෘහ ඒකකයකට ඇති හැකියාව ඇගයීමට ලක් කිරීම මතය. එහෙත්, බහුමාන දරිද්‍රතා දර්ශකය (Multiple Poverty Index – MPI) වැනි විකල්ප ක්‍රමවේදයන් මගින් පරිභෝජනය පමණක් නොව යම්කිසි ගෘහ ඒකකයකට අත්දැකීමට සිදු වන අනෙකුත් දුෂ්කරතා බොහොමයක් ද සලකා බලනු ලැබේ. නිදසුනක් ලෙස, ළමුන්ට පාසල් යාමට නොහැකි වීම, ශාරීරික ආබාධ සහ පිරිසිඳු පානීය ජලය නොමැති වීම වැනි ගැටළු මීට ඇතුළත් විය හැක.

අංක 1 වගුව: ලෝක බැංකුවේ එ.ජ.ඩොලර් 3.65 ක දරිද්‍රතා රේඛාවට (2017 ක්‍රය ශක්ති සාම්‍යය) අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය දිනකට USD 3.65 (2017 PPP)

මූලාශ්‍රය: ලෝක බැංකුවේ දරිද්‍රතාවය සහ අසමානතාව පිළිබඳ වේදිකාව, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සහ සමානාත්මතාව පිළිබඳ ලෝක බැංකු වාර්තාව (අප්‍රේල් 2023)



මූලාශ්‍රය

ලෝක බැංකුවේ දරිද්‍රතාවය සහ අසමානතාව පිළිබඳ වේදිකාව , අවසන් වරට ප්‍රවේශය 2023 ජූනි 20, ප්‍රවේශය‍: https://pip.worldbank.org/country-profiles/LKA.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සහ සමානාත්මතාව පිළිබඳ‌ ලෝක බැංකු වාර්තාව, අවසන් වරට ප්‍රවේශය 2023 ජූනි 20, ප්‍රවේශය: https://databankfiles.worldbank.org/public/ddpext_download/poverty/987B9C90-CB9F-4D93-AE8C-750588BF00QA/current/Global_POVEQ_LKA.pdf.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS). ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණය 2019 (HIES) ප්‍රවේශය: http://www.statistics.gov.lk/IncomeAndExpenditure/StaticalInformation/HouseholdIncomeandExpenditureSurvey2019FinalReport.

LIRNEasia, 2023. සමාජ ආරක්ෂණ ජාල සහ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය. ප්‍රවේශය: https://lirneasia.net/wp-content/uploads/2023/06/LIRNEasia-Social-Safety-Nets-and-the-State-of-Poverty-in-Sri-Lanka-3.pdf.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.