Eran Wickramaratne

ආදායම අඩුවීම ගැන පා.ම. ඉරාන් දුන් උදාහරණයෙත් අඩුපාඩු

"

ආදායම පදනම් කරගත් ස්ථායිකරණ මාවතක් තෝරා ගෙන තිබුණත් රජය සැලකිය යුතු මට්ටමකින් තම ඉලක්ක සුපුරා ගන්න අපොහොසත් වෙලා තිබෙනවා. උදාහරණයක් විදියට, [2023] සැප්තැම්බර් වන විට නිෂ්පාදන බදු ආදායම රු. බිලියන 214 ක් විය යුතුව තිබුණත් උපයලා තිබුණේ රු. බිලියන 125 යි. මෙය දළ වශයෙන් 43% ක හිඟයක්.

සන්ඩේ ඔබ්සර්වර් | නොවැම්බර් 5, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

රජය සැලකිය යුතු මට්ටමකින් තම ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පා.ම. ඉරාන් වික්‍රමරත්න විසින් පවසන ලදි.  2023 සැප්තැම්බර් මාසය වන විට අයවැය මගින් අපේක්ෂිත නිෂ්පාදන බදු ආදායම රු. බිලියන 214 ක් වුව ද, එහි 43% ක හිඟයක් වාර්තා කරමින් එම මාසයේ සැබවින්ම එකතු කරන ලද නිෂ්පාදන බදු ආදායම රු. බිලියන 125 ක් වූ බව මෙම කරුණ පැහැදිලි කිරීමේදී ඔහු පෙන්වා දෙයි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2024 සඳහා වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සහ 2023 සහ 2024 අයවැය කතා පරිශීලනය කරන ලදි.

ආරම්භයේදී අයවැය මගින් 2023 සඳහා අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තුව රු. බිලියන 3,415 ක් වූ නමුත් 2023 නොවැම්බර් මාසයේ නිකුත් කරන ලද 2024 අයවැය කතාවේදී මෙම අගය 16% න් අඩු කර 2023 සඳහා වූ අපේක්ෂිත ආදායම සංශෝධනය කර තිබිණි. එබැවින්, ආදායම “ඉලක්කයට වඩා සැලකිය යුතු ලෙස අඩු වී ඇත” යනුවෙන් පා.ම. සමස්තයක් වශයෙන් ඉදිරිපත් කළ තර්කය නිවැරදිය.

කෙසේ වෙතත්, ඔහු සඳහන් කර ඇති උදාහරණය හේතු දෙකක් මත නිවැරදි නොවේ. පා.ම. තමා විසින් සඳහන් කරන ලද කරුණ පැහැදිලි කිරීමට යොදා ගෙන ඇත්තේ එකතු කරන ලද නිෂ්පාදන බදු ආදායමේ හිඟය පිළිබඳ උදාහරණයකි. පළමුව, ඔහු විසින් උපුටා දක්වන ලද සංඛ්‍යා වඩාත් සමීපව සමපාත වනුයේ මත්පැන් සඳහා පමණක් අය කරගන්නා ලද නිෂ්පාදන බදු (සුරාබදු) ආදායමට මිස මුළු නිෂ්පාදන බදු ආදායමට නොවේ (අංක 1 වගුව බලන්න). දෙවනුව, මෙය සුරාබදු ආදායමේ හිඟය සඳහා උදාහරණයක් පමණක් ලෙස සැලකුව ද, ආදායමේ 43% ක පහත වැටීම ගණනය කර ඇත්තේ 2023 මාස 9 ක් තුළ එකතු කරන ලද සුරාබදු ආදායම (රු. බිලියන 124) වාර්ෂික ඇස්තමේන්තුව (රු. බිලියන 214) සමඟ සැසඳීමෙන් බව පෙනී යයි. මාස නවය සඳහා හිඟය 23% ලෙස ඇස්තමේන්තු කළ හැක (අතිරේක සටහන බලන්න).

සාරාංශ වශයෙන්, රජයේ ආදායම ඉලක්කගත ආදායමට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි යනුවෙන් පා.ම. සමසතයක් වශයෙන් සඳහන් කළ කරුණ නිවැරදි ය. කෙසේ වෙතත්, (අ) මුළු නිෂ්පාදන බදු ආදායම වෙනුවට සුරාබදු ආදායමේ අඩුවීම පමණක් ඇගයීමට ලක් කිරීම සහ (ආ) මාස නවයක ආදායම වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව සමඟ සංසන්දනය කර එම ඇගයීම සිදු කිරීම යන හේතු මත ඔහු ඉදිරිපත් කළ උදාහරණය නිවැරදි නොවේ.

එබැවින්, අපි පා.ම. ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

අතිරේක සටහන: පළමු මාස නවය සඳහා එකතු කරන ලද සුරාබදුවල මාසික සාමාන්‍යය වසරේ ඉතිරි මාස කිහිපයේදී ද එලෙසම පැවතුනහොත්, මුළු ආදායම දළ වශයෙන් රු. බිලියන 165 දක්වා ඉහළ යනු ඇත. එම අවස්ථාවේදී හිඟය 43% ක් නොව 23% ක් වනු ඇත.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 අංක 1 වගුව: නිෂ්පාදන බදු ගණනය කිරීම (රු. බිලියන)

මූලාශ්‍රය: මූල්‍ය කළමනාකරණ වාර්තාව 2024



මූලාශ්‍රය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2024 https://www.treasury.gov.lk/api/file/0dd9229c-80f6-4248-9ac6-4e935ae9bf6f

අයවැය කතාව 2023. https://www.treasury.gov.lk/news/article/177

අයවැය කතාව 2024. https://www.treasury.gov.lk/web/budget-speeches/section/2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.