Harsha de Silva

පා.ම. හර්ෂ ද සිල්වා කරන දරිද්‍රතාවය ගැන අර්ථකථනය අඩුපාඩු සහගතයි

"

ලෝක බැංකුව කියනවා 2019 13% ට තිබිච්ච දරිද්‍රතාවය, අද වෙනකොට අවම වශයෙන් 25% යි කියලා. UNDP සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ බහුමාන අවදානම් දරිද්‍රතා [දර්ශකයෙන්‍] කියනවා අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික තත්ත්වය ඔක්කොම එකට අරගත්තාම අපේ රටේ මිලියන 21 න් මිලියන 12.5 ක්, 56% ට වඩා ප්‍රමාණයක් දුප්පත් කියලා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව | නොවැම්බර් 15, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ලෝක බැංකුවේ සම්මත මූල්‍ය දරිද්‍රතා මිනුමට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 25% ක් බවට පා.ම. හර්ෂ ද සිල්වා සිය කතාවේදී ප්‍රකාශ කර සිටී. එමෙන්ම, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි බහුමාන සාධක සැලකිල්ලට ගත් විට දරිද්‍රතා මට්ටම මීට වඩා බෙහෙවින් වැඩි වන බව ද ඔහු තර්ක කරයි. බහුමාන දරිද්‍රතාවය මුළු ජනගහනයෙන් 56%ක් වන බවට ඔහු උපුටා දක්වයි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ බහුමාන දරිද්‍රතා දර්ශකය 2019 (Multidimensional Poverty Index – MPI) ද, බහුමාන අවදානම් දර්ශකය (Multidimensional Vulnerability Index – MVI) 2023 මත පදනම් වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ  (UNDP) ප්‍රතිපත්ති වාර්තාව ද පරිශීලනය කරන ලදි.

සංකල්පමය වශයෙන්, බහුමාන දරිද්‍රතාවය, ආදායම හෝ විශේෂිත භාණ්ඩ පැසක් මිලදී ගැනීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරන නිල මූල්‍ය දරිද්‍රතා සංඛ්‍යාලේඛනවලට වඩා වෙනස් වේ. මීට හාත්පසින්ම වෙනස් ලෙස, බහුවිධ දරිද්‍රතාවය මගින් සෞඛ්‍ය තත්ත්වය, පාසල් අධ්‍යාපනයක් ලැබිය වසර ගණන වැනි ජනතාවට එකවර අත්විඳීමට සිදුවන බහුවිධ අගහිඟකම් සැලකිල්ලට ගනු ලැබේ. ලෝක බැංකුව විසින් තක්සේරු කර පා.ම. ද සිල්වා විසින් උපුටා දැක්වූ මූල්‍යමය දරිද්‍රතාවයට අදාළ කරුණු නිවැරදි බව මෙම වසර මුලදී සිදු කරන ලද කරුණු පිරික්සීමක් මගින් නිගමනය කරන ලදි (එම කරුණු පිරික්සීම මෙතැනින්).

ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිළිබඳ නිල සංඛ්‍යාලේඛන 2019 වසරින් පසු ගණනය කර නොමැත. 2019 දී ශ්‍රී ලාංකිකයන්ගෙන් 16%ක් බහුමාන දරිද්‍රතා මට්ටමෙහි පසු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ බහුමාන දරිද්‍රතා දර්ශකයෙන් ලබාගත් පෙර දත්ත ඇස්තමේන්තු කර ඇත. කෙසේ වෙතත්, මූල්‍ය දරිද්‍රතා මිනුම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව 14.3% ක් වූ අතර ඊට වඩා වෙනස් නිර්ණායකයක් භාවිත කළ ලෝක බැංකුවේ මිනුම 2019 දී 13% ක් විය.

2023 දී UNDP සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුමාන අවදානම් දර්ශකය සකසන ලද්දේ ජනගහනයට ඇති අවදානම් පිළිබඳව සියුම් වෙනස්කම් ද ඇතුළුව වඩාත් සවිස්තරාත්මක අදහසක් සැපයීම සඳහා ය. බහුමාන අවදානම් දර්ශකයට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 55.7% ක් බහුමාන වශයෙන් අවදානමට ලක්ව සිටී. 56% දිළිඳු යැයී වර්ගීකර්ණය කළ හැකි බවට පා.ම. උපුට දැක්වූ අගය බහුමාන අවදානම් දර්ශකයේ මෙම සංඛ්‍යාවෙන් ලබා ගත්තකි.

බහුමාන ‘දරිද්‍රතාවය’ සහ ‘අවදානම’ අතර සමානකම් පැවතිය ද, එම මිනුම් සංකල්පමය වශයෙන් එකිනෙකට වෙනස් ගැටළු දෙකක් පිළිබඳ අදහසක් ලබා ගැනීමේ අරමුණින් සකසා ඇති බැවින් එම සංඛ්‍යාලේඛන පිළිබඳ පා.ම.ගේ අර්ථකථනය නිවැරදි නොවේ. UNDP සංවිධානයට අනුව, ‘අවදානමයනු දරිද්‍රතාවයට වඩා පුළුල් සංකල්පයකි. යම් පුද්ගලයෙකු දැනට දරිද්‍රතාවයෙන් නොපෙළුණ ද, එම පුද්ගලයා අහිතකර ප්‍රතිඵලවලට තුඩු දිය හැකි අවදානම් සහ කම්පනවලට නිරාවරණය වීමට ඇති ඉඩකඩ ද ඉන් සලකා බැලේ.’  යම් පුද්ගලයෙකු බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව බහුමාන වශයෙන් දරිද්‍රතාවයෙහි පසුවන්නෙක් ලෙස වර්ගීකරණය කර නොමැති වුව ද, ඔවුන්ගේ කුටුම්භය හේතු කිහිපයක් මත බහුමාන ලෙස අවදානමට ලක්විය හැකි බව මින් අදහස් කෙරේ. ඔවුන් ඊට පෙර වසරේ ස්වාභාවික විපතකට මුහුණ දී තිබීම හෝ කුටුම්භයේ සාමාජිකයෙකු ගෘහ සේවකයෙකු හෝ වැටුප් නොලබන සේවකයෙකු ලෙස සේවය කිරීම මීට නිදසුන් වේ.

බහුමාන සාධක සැලකිල්ලට ගත් විට, මූල්‍ය දරිද්‍රතා මිනුම් මගින් දැක්වෙන ප්‍රමාණයට වඩා වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් දිළිඳු යැයි වර්ගීකරණය වනු ඇති බවට පා.ම. සිදු කර ඇතැයි හැඟෙන වඩා පුළුල් ප්‍රකාශය නිවැරදි වේ. එනමුත්, UNDP සංවිධානයේ බහුමාන අවදානම් දර්ශකයේ සංඛ්‍යාලේඛන පිළිබඳව ඔහුගේ අර්ථකථනය නිවැරදි නොවේ. එනම්, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 56% බහුමාන වශයෙන් ‘දරිද්‍රතාවයෙන් පෙළෙන’ බව එය උපයෝගි කර ගනිමින් උපුටා දැක්විය නොහැක. එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන: බහුමාන දරිද්‍රතා දර්ශකය සහ බහුමාන අවදානම් දර්ශකය අතර ඇති වෙනස්කම්, එම සංඛ්‍යාලේඛන එකක් අනෙකට පරිවර්තනය කිරීමට හෝ එකකින් අනෙක ව්‍යුත්පන්න කිරීමට හෝ ඉඩ ලබා දෙන තරම් සරල නොවේ. එම වෙනස්කම් පවා බහුමාන බව පැවසිය හැක. නිදසුන්වශයෙන්, එම සංඛ්‍යාලේඛන දෙකට විවිධ දර්ශක, දර්ශකවල විවිධ අර්ථ දැක්වීම් මෙන්ම දර්ශක යෙදීමේදී සිදු කරන විවිධ බර තැබීම් සහ යොදා ගන්නා සීමා තිබේ (රූප සටහන 1 බලන්න).

* * FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

රූප සටහන 1: බහුමාන අවදානම් දර්ශකයේ සහ ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකයේ ව්‍යුහය



මූලාශ්‍රය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (2023). බහුමාන අවදානම් අවබෝධ කර ගැනීම: ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන් ඇති බලපෑම (UnderstandingMultidimensional Vulnerabilities: Impact on People of Sri Lanka), ප්‍රවේශය:https://www.undp.org/sites/g/files/zskgke326/files/2023-10/undp_multidimensional_vulnerability_report_sri_lanka.pdf

යුනිසෙෆ් (2023). ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය 2019 ප්‍රතිඵල: ජාතික සහ ළමා විශ්ලේෂණය. ප්‍රවේශය: https://www.unicef.org/srilanka/media/3706/file/Sri%20Lanka%E2%80%99s%20Multidimensional%20Poverty%20Index%202019%20Results:%20National%20and%20Child%20Analysis.pdf.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.