ඉහළ ගිය ආහාර වියදම ගැන පා.ම. අලවතුවලගෙන් අනාවරණයක්

"

කොළඹ එහෙම නැත්තං රට තුළ ජීවත් වන පුද්ගලයෙකුට ආහාර සඳහා 2019 දී ගියේ රු. 6,000 යි, 6,500 යි අතර ගානක්. දැන් මේ 2023 වෙනකොට ඒක රු. 16,000 යි 17,000 යි අතර ගණනක් වෙලා තිබෙනවා. එතකොට තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා.

නිව්ස් ෆර්ස්ට් | නොවැම්බර් 7, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 සිට 2023 දක්වා කාලය තුළ ආහාර වියදම තුන් ගුණයකින් වැඩි වී ඇති බව, එනම්, රුපියල් 6,000-6,500 සිට රුපියල් 16,000-17,000 දක්වා වැඩි වී ඇති බව පා.ම. අලවතුවල පවසයි.

ඉහත කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කිහිපයක් පරිශීලනය කරන ලදි: (1) කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) දර්ශකගත මිලට අදාළ දත්ත, (2) ගෘහ ඒකක  ආදායම් හා වියදම් සමීක්ෂණය (Household Income and Expenditure Survey – HIES) මෙම මූලාශ්‍ර වේ.

තමන් සඳහන් කරන වියදම් පරාසය කොළඹ දිස්ත්‍රික්කයට මෙන්ම මුළු රටටම ද අදාළ වන බව පා.ම. පවසයි. මෙය අදාළ වන කාල වකවානුවක් නිශ්චිත වශයෙන් දක්වා නොතිබුණ ද, ආහාර සඳහා වන මාසික (සතිපතා හෝ වාර්ෂික නොවේ) වියදම සමඟ මෙම අගයන් වඩාත් සමපාත වන බව FactCheck.lk විසින් නිරීක්ෂණය කරන ලදි.

2019 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයේ දත්ත ඇසුරින් ගත් විට සාමාන්‍ය ඒක පුද්ගල මාසික ආහාර වියදම ජාතික මට්ටමින් දළ වශයෙන්රුපියල් 5,981 ක් වන අතර කොළඹට අදාළව මෙය රුපියල් 7,532 කි (අංක 1 වගුව). පා.ම. විසින් දක්වන ලද පරාසය මෙම සංඛ්‍යා දෙක අතරපවතී. කෙසේ වෙතත්, ආහාර වියදමේ වැඩිවීම තක්සේරු කිරීම සඳහා යොදා ගත හැකි 2023 ට අදාළ මේ හා සමාන සමීක්ෂණ දත්ත නොමැත.

එබැවින්, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ආහාර කාණ්ඩයේ දර්ශකය භාවිතා කරමින් FactCheck.lk විසින්මෙම වැඩි වීම තක්සේරු කරන ලදි. 2019 ජනවාරි සිට 2023 ඔක්තෝබර් දක්වා කාලය තුළ ආහාර සඳහා වන පිරිවැයේ පිළිවෙලින් 2.3 ගුණයක සහ 2.2 ගුණයක වැඩිවීමක් මෙම දර්ශක පෙන්නුම් කළ අතර, එය පා.ම. සඳහන් කළ 3 ගුණයක වැඩවීමට වඩා බෙහෙවින් අඩුය.

එනම්, 2019 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයේ දත්ත සහ ආහාර කාණ්ඩ දර්ශකයේ වෙනස්වීම් මත පදනම්ව, 2023 සාමාන්‍ය ඒක පුද්ගල ආහාර වියදම ජාතික මට්ටමින් රුපියල් 13,320 ක් (පා.ම.ගේ සංඛ්‍යා පරාසයට වඩා බෙහෙවින් අඩු) සහ කොළඹදී රුපියල් 17,324 ක් ලෙස ඇස්තමේන්තු කළ හැක(මෙය පා.ම. සඳහන් කළ පරාසයේ ඉහළ සීමාවට වඩා මඳක් වැඩි අගයකි)( අංක 1 වගුව).

2019 වසර සඳහා පා.ම. දැක්වූ සාමාන්‍ය ආහාර වියදම ජාතික මට්ටමේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ වියදම් පරාසය තුළ පවතින අතර ඔහු 2023 ට අදාළව දැක්වූ වියදම කොළඹ සඳහා ආසන්න වශයෙන් නිවැරදි වේ. කෙසේ වෙතත්, 2019 සහ 2023 අතර ආහාර වියදම කොපමණකින් වැඩි වූයේ ද යන්නට අදාළව ඔහු ප්‍රකාශ කළ සමස්ත කරුණෙහි ඇතුළත් සංඛ්‍යා සැලකිය යුතු අයුරින් වැඩි කොට දක්වා තිබේ. එය උපරිම වශයෙන් 2.3 ගුණයකවැඩිවීමක් වුව ද (130% ක් වැඩිවීම) එය 3 ගුණයක වැඩිවීමක් (200% වැඩිවීමක්) බව ඔහු පවසයි.

එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන: ආහාර වියදම රුපියල් 16,000 ත් 17,000 ත් අතර පවතින බවට 2023 සඳහා පා.ම. උපුටා දක්වන ලද සංඛ්‍යා එම කාලසීමාව සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛාව (Official Poverty Line) හා සැස‌ඳේ. නිල දරිද්‍රතා රේඛාව ජාතික මට්ටමින් එක් පුද්ගලයෙකුට රුපියල් 16,112 ක් ද,කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 17,377 ක් ද වේ. කෙසේ වෙතත්, පා.ම.ගේ ප්‍රකාශය තුළ සඳහන් වන්නේ සාමාන්‍ය ආහාර වියදමේ සමස්ත වැඩිවීමපිළිබඳව මිස නිල දරිද්‍රතා රේඛාවෙහි වැඩිවීම නොවේ. නිල දරිද්‍රතා රේඛා‌ව වැඩි වී ඇත්තේ ද 2.3 ගුණයකිනි.

අංක 1 වගුව: ආහාර වියදම (2019 සිට 2023)

* ආහාර කාණ්ඩ දර්ශකයේ වෙනස මත ඇස්තමේන්තු කර ඇති සංඛ්‍යා



මූලාශ්‍රය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. (2023) මාසික කොළඹ පාරිභෝගික මිල දර්ශකය. http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI වෙතින් ලබා ගන්නා ලදී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. (2022) මාසික ජාතික පාරිභෝගික මිල දර්ශකය. http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyNCPI#gsc.tab=0 වෙතින් ලබා ගන්නා ලදී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. (2019) ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණය 2019 අවසන් ප්‍රතිඵල. http://www.statistics.gov.lk/IncomeAndExpenditure/StaticalInformation/HouseholdIncomeandExpenditureSurvey2019FinalResults වෙතින් ලබා ගන්නා ලදී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. (2021). දරිද්‍රතා රේඛාව 2021 පදනම නැවත සැකසීම. ප්‍රවේශය http://www.statistics.gov.lk/povertyLine/2021_Rebase#gsc.tab=0 .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.