ඉරාන් වික්‍රමරත්න

පා.ම ඉරාන්ගේ කතාව දත්තවලින් තහවුරුයි

"

ආරක්‍ෂක අමාත්‍යාංශය ගත්තම, අපි 2022 වසරේ මුළු අයවැයෙන් 7%ක් වැය කළේ ඒ සඳහා [ආරක්ෂක අමාත්‍යාංශය] ... එයින් 60%ක් වැටුප් ගෙවීමට... ශ්‍රී ලංකාව කියන්නේ සෑම පුරවැසියන් 100 කටම සොල්දාදුවන් වැඩිම සංඛ්‍යාවක් ඉන්න රටවල් දහයෙන් එකක්. රටවල් 200ක් ගත්තොත් අපි පළමු 10 දෙනා අතර ඉන්නවා. පුරවැසියන් 100කට සොල්දාදුව

පාර්ලිමේන්තු YouTube නාලිකාව | නොවැම්බර් 14, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ආරක්ෂක අංශය සඳහා අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් 2024 අයවැය විවාද අතරතුර පා.ම. වික්‍රමරත්න ඉදිරිපත් කළ කරුණු තුනක් පහත දැක්වේ: (1) ආරක්ෂක අමාත්‍යාංශය සඳහා 2022 සමස්ත අයවැයෙන් 7% ක් වෙන් කර තිබූ අතර මෙය ඉහළ අගයකි; (2) එයින් 60%ක් වියදම් කරනු ලබන්නේ වැටුප් ගෙවීම සඳහා ය; (3) ශ්‍රී ලංකාව යනු පුරවැසියන් සහ සොල්දාදුවන් අතර වැඩිම අනුපාතයක් ති‌‌‌බෙන රටවල්වලින් එකකි (අනුපාතය වැඩිම රටවල් 10 අතර සිටී).

පා.ම. සඳහන් කළ එම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් 2023 අයවැය ඇස්තමේන්තු සහ ලෝක බැංකුවේ දත්ත පරිශීලනය කරන ලදි.

පළමු කරුණ: 2022 දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රජය දරා ඇති වියදම රජයේ මුළු වියදමෙන් 7.97% ක් විය. 2023 ඒ සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන මුළු අයවැයෙන් 7% ක් විය (අංක 1 වගුව).

දෙවැනි කරුණ: වැටුප්, අතිකාල ගෙවීම් සහ දීමනා ඇතුළු පුද්ගල වැටුප් සඳහා 2022 දී දරන ලද වියදම ආරක්ෂක අමාත්‍යාංශයේ මුළු වියදමෙන් 69.8% ක් වූ අතර 2023 සඳහා ඒ වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය 62.9% කි (අංක 1 වගුව).

පා.ම., ඔහු ප්‍රකාශ කළ පරිදි 2022 නොව 2023 ට අදාළ වියදම ආසන්න වශයෙන් දක්වා ඇති බව මෙහිදී පෙනී යයි. එහෙත් 2022 දී මීට වඩා ඉහළ වියදමක් දරා ඇති අතර වියදම පිළිබඳ ඔහු සිදු කළ සමස්ත ප්‍රකාශය ඉන් තහවුරු කෙරේ.

තෙවැනි කරුණ: “සොල්දාදුවන්” යන වාචික යෙදුම FactCheck.lk විසින් ” සන්නද්ධ හමුදා සාමාජිකයන්” ලෙස අර්ථ දක්වන ලදි. සන්නද්ධ හමුදා සාමාජිකයන් පිළිබඳ ලෝක බැංකුවෙන් ලබා ගත හැකි නවතම ගෝලීය දත්ත 2020 ට අදාළ වේ. එම දත්ත ඇසුරින් සිදු කරන ලද ගණනයකිරීම්වලින් පෙනී යන්නේ 2020 දී ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියන් 100 දෙනෙකුටම සන්නද්ධ හමුදා සාමාජිකයින් 1.45 ක් සිටි බවයි. මෙය, ලෝකයේ 9 වැනියට වැඩිම අනුපායයි.

(අ) අයවැයෙන් ඉහළ ප්‍රතිශතයක් ආරක්‍ෂක අංශය සඳහා වැය කෙරෙන බවත්, (ආ) එම වියදමින් ඉහළ ප්‍රතිශතයක් වැටුප් සඳහා වැය වන බවත්; සහ (ඇ) එක් පුද්ගලෙයකු සඳහා සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව වැඩිම රටවල් 10 අතර ශ්‍රී ලංකාව තිබෙන බවත් යනුවෙන් පා.ම. සඳහන් කළ කරුණු තුනම දත්ත මගින් තහවුරු කෙරේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: ආරක්ෂක අමාත්‍යාංශ වෙනුවෙන් රජය විසින් දරන ලද වියදම (2022 සහ 2023)

මූලාශ්‍රය: 2023 අයවැය ඇස්තමේන්තු

අංක 2 වගුව: සන්නද්ධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව(2020)

මූලාශ්‍රය: ලෝක බැංකුවේ දත්ත ඇසුරින් ගණනය කර ඇත



මූලාශ්‍රය

අයවැය ඇස්තමේන්තු 2023, මුදල් අමාත්‍යාංශය, ප්‍රවේශය: https://www.treasury.gov.lk/web/budget-estimates/section/budget%20estimates%20-2023

සන්නද්ධ හමුදා සාමාජිකයින්, මුළු සංඛ්‍යාව, ලෝක බැංකුව, ප්‍රවේශය: https://data.worldbank.org/indicator/MS.MIL.TOTL.P1

මුළු ජනගහනය, ලෝක බැංකුව, සමස්ත : https://data.worldbank.org/indicator/SP.POP.TOTL

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.