මහින්ද රාජපක්ෂ

අඩු වූ ණය බර ගැන පා.ම රාජපක්ෂ කරන පැහැදිලි කිරීම වැරදියි

"

2005 අවසානයේදී 90% ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය, 2014 අවසානය වන විට 69% දක්වා මගේ රජය විසින් අඩු කරන ලදි.

NewsFirst.lk | දෙසැම්බර් 20, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2005 අවසන් වන විට 90% ක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) අතර අනුපාතය, 2014 අවසන් වන විට 69% දක්වා පහත වැටී තිබූ බව පා.ම. මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පරිශීලනය කරන ලදි.

ජාතික ණය ගිණුම්කරණයට (1) රජයේ භාණ්ඩාගාරය සතු ණයවලට සීමා වූ මධ්‍යම රජයේ ණය (central government debt) මෙන්ම (2) මධ්‍යම රජයේ ණයට අමතරව රජය සතු ව්‍යවසායයන්ගේ පොත්වල ඇති ණය ඇතුළත් රාජ්‍ය ණය ද (public debt) අයත් වේ. යම්කිසි රටක ණය බැඳීම් පිළිබඳ සම්පූර්ණ අදහසක් ලැබෙනුයේ රාජ්‍ය ණය මගින් බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද (IMF සංවිධානය) ඇතුළුව ගෝලීය වශයෙන් රටක ණය බර තක්සේරු කරනු ලබන්නේ රාජ්‍ය ණය මත පදනම්ව මිස මධ්‍යම රජයේ ණය පමණක් පදනම්ව නොවේ.

2005 අවසන් වන විට රාජ්‍ය ණය සහ ද.දේ.නි. අතර අනුපාතය 92.1% ක් වූ අතර 2014 අවසන් වන විට එය 76.5% ක් විය. මෙය පා.ම. සඳහන් කළ ප්‍රතිශත හා නොගැලපේ. කෙසේ වෙතත්, ඔහු සඳහන් කළ ප්‍රතිශත පිළිවෙලින් 2005 සහ 2014 දී මධ්‍යම රජයේ ණය සහ ද.දේ.නි. අතර අනුපාතය වූ 90.8% සහ 69.5% යන අගයන් සමඟ සමපාත වේ (අංක 1 වගුව බලන්න).

මධ්‍යම රජයේ ණය ලෙස දක්වා ඇති ණය කොටස පමණක් උපුටා දැක්වීම මගින් පා.ම. (අ) 2014 දී පැවති සමස්ත ණය ප්‍රමාණය නිවැරදි නොවන අයුරින් නිරූපණය කරන අතර, (ආ) රාජ්‍ය ණය සැලකූ විට 2005 සිට ණය සහ ද.දේ.නි. අතර අනුපාතයේ සිදු වූ පහත වැටීම ඔහු වැඩි කොට දක්වයි (ප්‍රතිශත ලක්ෂ්‍ය 21.3%). රාජ්‍ය ණය සහ ද.දේ.නි. අතර අනුපාතය සැබවින්ම අඩු වූයේ ප්‍රතිශත ලක්ෂ්‍ය 15.6 නි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනය මගින් මධ්‍යම රජයේ පොත්වල පැවති ණය රජය සතු ව්‍යවසායයන්ගේ පොත්වලට විතැන් කර මධ්‍යම රජයේ ණය හසුරුවා එය අඩු කොට දක්වා ඇති බව හඳුනාගෙන ඇති බැවින් පා.ම. භාවිතා කළ මධ්‍යම රජයේ ණය හා සබැඳි ප්‍රතිශත වඩාත් නොමඟයවනසුළු වේ. මෙම ගිණුම්කරණ උපක්‍රමය හේතුවෙන් රාජ්‍ය ණයවල කිසිදු අඩුවීමක් වාර්තා නොවී තිබූ තත්ත්වයක් තුළ මධ්‍යම රජයේ ණය කෘත්‍රිමව පහත හෙළන ලදි. නිදසුන් වශයෙන්, 2014 දී පුත්තලමේ ගල් අඟුරු බලාගාරය, හම්බන්තොට වරාය සංවර්ධනය සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා අදාළ වූ රුපියල් බිලියන 309 ක (හෝ 2014 දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක්) ණය ශේෂය මධ්‍යම රජයේ පොත්වලින් ඉවත් කර විවිධ රජය සතු ව්‍යවසායයන්ගේ පොත් වෙත ඇතුළත් කර ඇත (අතිරේක සටහන බලන්න).

ණය සහ ද.දේ.නි. අතර අනුපාතය පිළිබඳ පා.ම. පැවසූ ප්‍රතිශත රාජ්‍ය ණය වෙනුවට මධ්‍යම රජයේ ණය යොදා ගනිමින් උපුටා දක්වා ඇති අතර එමගින් එය මුළු ණය ප්‍රමාණයේ එක් කොටසකට පමණක් අදාළ වේ. එපමණක් නොව, මධ්‍යම රජයේ ණය සඳහා ඔහු උපුටා දක්වනුයේ ඔ‌හුගේ ජනාධිපති කාලය තුළ 2014 දී අඩු ණය ප්‍රමාණයක් වාර්තා කිරීම සඳහා හසුරුවන ලද අගයකි. එම කාලපරිච්ඡේදය තුළ ණය සහ ද.දේ.නි. අතර අනුපාතය සැබවිමන්ම පහත වැටුණේ පා.ම. සඳහන් කළ අගයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රමාණයකිනි (ප්‍රතිශත ලක්ෂ්‍යවලින් හතරෙන් තුනකට වඩා අඩු). කෙසේ වෙතත්, රාජ්‍ය ණය සහ ද.දේ.නි. අතර අනුපාතය ප්‍රතිශත ලක්ෂ්‍ය 15.6 කින් අඩුවීම මගින් එම කාලය තුළ ණය සහ ද.දේ.නි. අතර අනුපාතයසැලකිය යුතු ලෙස අඩු වූ බවට පා.ම. සිදු කළ ප්‍රකාශයේ සමස්ත අදහස යම් ආකාරයකින් තහවුරු වන බවට සැලකිය හැක.

එබැවින්, අපි පා.ම.‌ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන: මෙම ණය වාර්තාකරණය හැසිරවීම පිළිබඳ වැඩි විස්තර සඳහා වෙරිටේ රීසර්ච් වසින් පළ කරන ලද ‘ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණයට නිවැරදි වාර්තාකරණයේ වැදගත්කම – චීන ණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්’, 2021, පි.6 වෙත ප්‍රවේශ වන්න.

අංක 1 වගුව: මධ්‍යම රජයේ ණය සහ රාජ්‍ය ණය

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තා, https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports වෙතින් ලබා ගත හැකිය .

මුදල් අමාත්‍යාංශය, 2014 වාර්ෂික වාර්තාව, https://www.treasury.gov.lk/api/file/33f4533e-3106-4496-86b3-73f696652e05 වෙතින් ලබාගත හැකිය .

වෙරිටේ රිසර්ච්, ‘ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණයට නිවැරදි වාර්තාකරණයේ වැදගත්කම – චීන ණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්’ , පෙබරවාරි 2021, https://www. Verité research.org/publication/briefing-note-navigating-srilankas-debt/ .

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ‘ IMF වාර්තාව අංක 23/116 , ශ්‍රී ලංකාව’, මාර්තු 2023, https://www.imf.org/-/media/Files/Publications/CR/2023/English/1LKAEA2023001 වෙතින් ලබා ගත හැකිය. ashx _

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.