රංජිත් සියඹලාපිටිය

රජයෙන් මාසික ගෙවීමක් ලබන ලක්ෂ 40 ක පිරිසක් ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කතා කරයී

"

ලක්ෂ 40ක පිරිසක් රජය දෙස වුවමනාවෙන් බලා සිටියි. ඉන් ලක්ෂ 20ක් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වන රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වන අතර අනෙක් ලක්ෂ 20 අස්වැසුම හරහා සමාජ සුබසාධන ක්‍රියාවලියට ඇතුළත් පිරිසයි.

රංජිත් සියඹලාපිටිය ගේ ෆේස්බුක් පිටුව | නොවැම්බර් 8, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය‌ගේ මෙම ප්‍රකාශය පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයේ යම් වෙනසක් තිබිණි. කෙසේ වෙතත්, FactCheck.lk විසින් මෙහිදී ඔහුගේ ඒ ආශ්‍රිත සමාජ මාධ්‍ය සටහන පමණක් ඇගයීමට ලක් කරන ලදි (සැ.යු. බලන්න). 2024 දී පුද්ගලයින් මිලියන 4 ක් රජයෙන් මාසික ගෙවීම් ලබන බව ඔහු ප්‍රකාශ කරන බවට මෙම සටහන අර්ථකථනය කළ හැක. කණ්ඩායම් දෙකක් පදනම් කරගනිමින් ඔහු මෙම සංඛ්‍යාව ඉදිරිපත් කරයි: (i) රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින් සහ විශ්‍රාමිකයින් මිලියන 2 ක පිරිසක් සහ (ii) මාසිකව සුබසාධන ගෙවීම් ලබන මිලියන 2 ක පිරිසක්.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවිය, මුදල් අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාව සහ 2024 සඳහා වන අයවැය ඇස්තමේන්තු පරිශීලනය කරන ලදි.

පළමු කණ්ඩායම: 2022 දී වාර්තා වූ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ (1,393,883) සහ විශ්‍රාමිකයින්ගේ (676,430) එකතුව පළමු කණ්ඩායම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දැක්වූ සංඛ්‍යාව සමඟ සමපාත වේ (අතිරේක සටහන 1 බලන්න).

දෙවැනි කණ්ඩායම: රාජ්‍ය අමත්‍යවරයා මෙහිදී අස්වැසුම වැඩසටහනට ඇතුළත් කර ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව අදහස් කරයි . 2023 දීඅස්වැසුම වැඩසටහනට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 1,792,265 ක් සිටි බව ඊට අදාළව පවතින එකම දත්ත වාර්තාව පෙන්නුම් කරයි. එහෙත්, එමගින්සත්‍ය වශයෙන්ම ඇස්වැසුම ලැබූවන්ගේ සංඛ්‍යාව පිළිඹිබු නොවීමට ඉඩ ඇත.

එසේ වුව ද, රජය විසින් ගෘහ ඒකක මිලියන 2 කට ඇස්වැසුම ලබා දීමට ‘අපේක්ෂා කර සිටියි’ යැයි 2024 අයවැය ඇස්තමේන්තුවලට අනුව පෙනී යන අතර, දෙවැනි කණ්ඩායම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාව ඒ මත පදනම් වූවා විය හැක.

ඒ හේතුවෙන්, රජයෙන් මාසික ගෙවීමක් අපේක්ෂා කරන සංඛ්‍යාව ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ මිලියන 4 ක ඇස්තමේන්තුව රජයේ දත්ත සහ අයවැය පුරෝකථන සමඟ සමපාත වේ.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lk හි තීන්දුව පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි නවතම තොරතුරු මතය. සෑම සත්‍ය පරීක්‍ෂණයකදීම මෙන්, නව තොරතුරු ලබා ගත හැකි නම්, FactCheck.lk නැවත ඇගයීමට ලක් කරනු ඇත.

සැ.යු – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා සඳහන් කළ මෙම කරුණ 2023 නොවැම්බර් 19 වැනි දින සිළුමිණ පුවත්පතෙහි වාර්තා වූයේ පවුල් මිලියන 4ක් අයවැයෙන් සෘජු සහන අපේක්ෂාවෙන් සිටියි යනුවෙනි.

රජයේ සුභසාධන ආධාර ලබන ජන කණ්ඩායම ලක්ෂ20ක්. රජයේ සේවකයෝ, විශ්‍රාම වයසේ පසුවන්නන් සහ විශ්‍රාමික ප්‍රජාව ඇතුළු පිරිස ලක්ෂ20ක් පමණ වෙනවා. පෞද්ගලික අංශයේ සේවය කරන පිරිස සමඟ මුළු රටේම පවුල් ලක්ෂ55ක්60ක් අතරින් ලක්ෂ40ක් විතර ඍජුවම අය වැයෙන් සහන බලාපොරොත්තු වෙනවා.”

වාර්තා කර ඇති පරිදි, කණ්ඩායම් දෙකක් පදනම් කර ගනිමින් ඔහු මෙම සංඛ්‍යාව ප්‍රකාශ කර ඇත: එනම්, (i) දැනට රජයෙන් සුබසාධන ආධාර ලබා ගන්නා මිලියන 2 ක පිරිසක් සහ, (ii) මිලියන 2 ක් වන රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින් සහ විශ්‍රාම වැටුප් සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින්.

රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින් සහ විශ්‍රාමිකයින් සඳහා පුවත්පතෙහි උපුටා දක්වා ඇති සංඛ්‍යාව නිල දත්ත සමඟ සමපාත වුව ද, අයවැයෙන් ‘සහන’ අපේක්ෂා කරන ‘පවුල්’ වශයෙන් මෙම කණ්ඩායම ඇතුළත් කිරීම කරුණු තුනක් මත සාවද්‍ය වේ.

අවශ්‍යතා පදනම් නිර්ණායක මත සපයනු ලබන ආධාර හෝ පොදු භාණ්ඩ සියලු දෙනාටම ලබා දීම හෝ සුබසාධනය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. එබැවින්, පළමුව, රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ වැටුප් සුබසාධනය වශයෙන් සැලකිය නොහැක. දෙවනුව, පෙර රැකියා නියුක්තිය මත හිමිවිය යුතු ගෙවීමක් වන විශ්‍රාම වැටුප් ද සුබසාධනයක් ලෙස සැලකිය නොහැක. තෙවනුව, මෙම කණ්ඩායම සඳහා නම් කරන ලද පුද්ගලයින් මිලියන 2 ක සංඛ්‍යාවෙන්, වෙන් වෙන් වශයෙන් ගත හැකි පවුල් මිලියන 2ක සංඛ්‍යාවක් ද නියෝජනය වන්නේ යැයි සැලකිය නොහැක.

අතිරේක සටහන 1 – ජාතික මට්ටමින් (783,238), පළාත් සභා සහ පළාත් පාලන මට්ටමින් (398,528) සහ රජය සතු ව්‍යවසායයන්ගේ සේවයෙහි නියුතු (212,117) රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගෙන් මුළු එකතුව සමන්විත වේ.

අතිරේක සටහන 2 – විශ්‍රාම වැටුප් අයවැය තුළ ‘මාරු කිරීම්’ ලෙස වර්ගීකරණය කර ඇත. තාක්ෂණික වශයෙන්, රාජ්‍ය අමාත්‍යවරයා විසින් විශ්‍රාම වැටුප් රජයේ ආධාර ලෙස වර්ගීකරණය කිරීම අයවැය ගිණුම්කරණ භාවිතයන් සමඟ සමපාත වේ.



මූලාශ්‍රය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවිය. https://www.wbb.gov.lk/#

මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2022. https://www.treasury.gov.lk/api/file/39a16e61-7659-476b-8f18-d969c7a69733

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, අයවැය ඇස්තමේන්තු 2024: වෙළුම I. https://www.treasury.gov.lk/api/file/91e9918b-f6cd-486d-8f3a-fd87e5fcb091

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.