උදය ගම්මන්පිල

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.

"

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.

උදය ගම්මන්පිලගේ යූ ටියුබ් නාලිකාව | ජනවාරි 8, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. උදය ගම්මන්පිල තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) අනුව්‍යවස්ථාව අර්ථ දක්වමින් පවසා සිටියේ 2024 සැප්තැම්බර් මාසයේ 18 වැනි දින සහ ඔක්තෝබර් මාසයේ 18 වැනි දින අතර කාලය තුළ නිසැකවම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31, 32 සහ 40 ව්‍යවස්ථා සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත පරිශීලනය කරන ලදි.

පා.ම. ගම්මන්පිල විසින් විස්තර කර ඇති පරිදි, (අ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය, සහ (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) අනුව්‍යවස්ථාව සඳහා ලබා දුන් අර්ථ නිරූපණයන් පදනම් කරගනිමින් ඔහු තම ප්‍රකාශය සිදු කර ඇත.

ඉහත (අ) කරුණ සැලකූ විට, 31(3අ)(ඈ)(ii) අනුව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීම අර්ථ දක්වා ඇත. ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත් වූ බවට ප්‍රකාශ කළ පුද්ගලයා එම අවස්ථාවේදී ජනාධිපති ධුරය නොදරන්නෙකු නම්, එම පුද්ගලයා “ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබූ දිනයෙන් ආරම්භ වන අවුරුදු පහක කාලයක් ධුරය දැරිය යුත්තේය” යනුවෙන් එම අනුව්‍යවස්ථාවෙහි සඳහන් වේ.

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019 නොවැම්බර් 17 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙන ලද්දේ 2019 නොවැම්බර් 18 වැනි දින වුව ද, ඔහුගේ ධුර කාලය2024 නොවැම්බර් 17 වැනි දින ආරම්භ වූ අතර 2024 නොවැම්බර් 17 වැනි දින එය අවසන් වේ.

ඉහත (ආ) කරුණ සැලකූ විට, පා.ම. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) අනුව්‍යවස්ථාව උපුටා දක්වයි:  “ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය” ඉහත විශ්ලේෂණයට අනුව, 2024 සැප්තැම්බර් 17 (කල් ඉකුත් වීමට පෙර මාස දෙකකට වැඩි නොවන) සහ 2024 ඔක්තෝබර් 17 (කල් ඉකුත්වීමට පෙර මාසයකට අඩු නොවන) අතර දිනයන් මෙම අනුව්‍යවස්ථාවට අදාළ වේ.

ඉහත සීමාව ඉක්මවා යන ප්‍රතිපාදනයක් ඇතුළත් 31(3අ)(අ)( i ) අනුව්‍යස්ථාව මෙහිදී පා.ම. ගෙන හැර නොදක්වයි. ජනාධිපතිවරණය නියමිත දිනට පෙර කැඳවීමට–එනම්, සිය ධුර කාලයෙන් වසර හතරක් ඉකුත් වූ පසු එය කැඳවීමට–ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයාට එකී අනුව්‍යවස්ථාව ඉඩ සලසයි.

එසේ වුව ද, 40(1) අනුව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනාධිපති ධුරයට අනුප්‍රාප්ත වන තැනැත්තෙකු හට නියමිත දිනට පෙර මැතිවරණයක් කැඳවීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමට හිමිකම් නොමැති බව ප්‍රකාශ කරමින් 31(3අ)(ඉ) අනුව්‍යවස්ථාව එම නිදහස සීමා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තෝරා පත් කර ගන්නා ලද්දේ පාර්ලිමේන්තුව විසින් සිදු කරන ඡන්ද විමසීමක් හරහා වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40(1) අනුව්‍යස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාරව සිදු කරන ලදි. ඒ අනුව, 2024 සැප්තැම්බර් 17 වැනි දිනට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාවක් නොමැත.

ඉහත විග්‍රහයට සැලකූ විට, මීළඟ ජනාධිපතිවරණය 2024 ඔක්තෝබර් 17 වැනි දිනට ට පසුව හෝ 2024 සැප්තැම්බර් 17 වැනි දිනටපෙරාතුව පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවත්නා නීතීන් තුළ ප්‍රතිපාදන නොමැත. ඒ අනුව, පා.ම. ගම්මන්පිල සඳහන් කළ දිනයන් ජනාධිපතිවරණයට අදාළ දිනයන්ගෙන් සුළු වශයෙන් වෙනස් වුව ද (දවසක වෙනසක්), මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූලව තීරණය කරන ලද  කාල වකවානුව සම්බන්ධයෙන් ඔහු නිවැරදි වේ.

එබැවින්, අපි පා.ම‌.ගේ ප්‍රකාශය නිවැරදියි යැයි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: https://www.parliament.lk/files/pdf/constitution.pdf

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත: https://elections.gov.lk/web/wp-content/uploads/publication/acts/15-1981_E.pdf

ජනාධිපති ලේකම් කාර්යාලය: https://www.presidentsoffice.gov.lk/index.php/2019/11/18/new-president-sworn-in-2/

News.lk: https://www.news.lk/news/politics/item/28256-elected-7th-executive-president-of-sri-lanka

මැතිවරණ කොමිෂන් සභාව: https://elections.gov.lk/web/wp-content/uploads/election-results/presidential-elections/pre2019/PRE_2019_All_Island_Result.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.