ඉරාන් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ගැන පා.ම. ඉරාන්ගේ ප්‍රකාශයට මූලාශ්‍ර හරස් වෙයි

"

ලෝකයේ තිබෙන විදේශ ගමන් බලපත්‍ර අතරින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 97 වැනි ස්ථානයේ පසු වෙනවා... එයින් අදහස් කරන්නේ කුමක්ද? එහි අදහස තමයි වීසා නොමැතිව රටවල් 40කට ඇතුළු වෙන්න පුළුවන් කියන එක. පැමිණීමේදී වීසා බලපත්‍රයක් ලබා ගෙන වෙනත් රටවල්වලට ඇතුළු වෙන්න ශ්‍රී ලංකාවට තියෙන හැකියාව ඉතා අල්පයි. එහෙම

Eran Wickramaratne ගේ YouTube පිටුව | දෙසැම්බර් 8, 2023

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පා.ම. වික්‍රමරත්න, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ගෝලීය වශයෙන් ශ්‍රේණිගත වී ඇති ආකාරය පිළිබඳව කරුණු දෙකක් පාර්ලිමේන්තුවේදීඉදිරිපත් කළේය. ඒ අනුව, (1) ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට ලෝකයේ 97 වැනි ස්ථානය හිමිව ඇති බවත්, (2) ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා නොමැතිව පකිස්තානය, සිංගප්පූරුව සහ ඩොමිනිකාව ඇතුළු රටවල් 40 ක සංචාරය කළ හැකි බවත් ඔහු පැවසීය.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පා.ම. ඔහුගේ මූලාශ්‍රය වශයෙන් උපුටා දැක්වූ හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය (Henley Passport Index – HPI) පරිශීලනය කරන ලදි.

HPI දර්ශකය විදේශ ගමන් බලපත්‍ර සඳහා ලකුණු ලබා දීමේදී සරල ක්‍රමවේදයක් අනුගමනය කරයි. ඒ අනුව, පූර්ව සංචරණ අනුමැතියක් ලබා නොගෙන විදේශ ගමන් බලපත්‍ර හිමියන් හට ඇතුළු විය හැකි ගමනාන්ත සංඛ්‍යාව එමගින් ගණන් කරනු ලැබේ. එක් එක් සංචාරක ගමනාන්තයක් සඳහා, එම විදේශ ගමන් බලපත්‍රයේ හිමිකරුවන්ට (අ) වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන්නේ නම් හෝ (ආ) පූර්ව සංචරණ අනුමැතියක් ලබා නොගෙන එම රටට පැමිණීමේදී වීසා බලපත්‍රයක්, බලපත්‍රයක් හෝ ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතියක් (Electronic Travel Authorisation) ලබා ගත හැකි නම් හෝ එකී විදේශ ගමන් බලපත්‍රයට එක් ලකුණක් හිමි වේ. HPI දර්ශකය විසින් සංචාරක ගමනාන්ත 227 ක් සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍ර 199ක් ඇගයීමට ලක් කරනු ලබයි. එබැවින්, යම් විදේශ ගමන් බලපත්‍රයකට හිමි කර ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 227 කි.

පළමු කරුණ: ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 97 වැනි ස්ථානයේ පසු වූ බවත්, දුර්වලම විදේශ ගමන් බලපත්‍රය 105 වැනි ස්ථානයේ පසු වූ ඇෆ්ගනිස්තානයේ බලපත්‍රය බවත් පා.ම. මෙම ප්‍රකාශය සිදු කළ අවස්ථාවේදී නිකුත් කර තිබූ නවතම HPI (2023 නොවැම්බර් 15 සඳහා) දර්ශකය වාර්තා කරයි.

එක් එක් ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීමේදී HPI දර්ශකය අනුගමනය කරන ක්‍රමවේදය තරමක් අසාමාන්‍ය වේ. එය පදනම් වී ඇත්තේබලපත්‍රවලට හිමි වන ලකුණු ප්‍රමාණයන්ගේ අනුපිළිවෙල මත මිස එලෙස ලකුණු අනුපිළිවෙලට ගත් විට යම් කිසි බලපත්‍රයකට වඩා ඉහළින් පවතින බලපත්‍ර සංඛ්‍යාව මත නොවේ. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ සහ කොසෝවෝහි විදේශ ගමන් බලපත්‍ර සඳහා ලකුණු 41 බැගින්හිමි වී තිබූ අතර ශ්‍රේණිගත කිරීම්වලදී බලපත්‍ර දෙකම 97 වැනි ස්ථානයට පත්ව තිබිණි. එහෙත්, ශ්‍රී ලංකාව සහ කොසෝවෝ යන රටවල් දෙකම 97 වැනි ස්ථානයේ පසු වුණ ද, ලකුණු 40ක් (ශ්‍රී ලංකාවට වඩා එක ලකුණක් අඩු) හිමි වූ බංග්ලාදේශයේ විදේශ ගමන් බලපත්‍රයට හිමිව තිබුණේ 99 වැනි ස්ථානය නොව 98 වැනි ස්ථානයයි. විදේශ ගමන් බලපත්‍ර 199ක් ශ්‍රේණිගත කර තිබුණ ද වාර්තා වී ඇති අඩුම ශ්‍රේණිය 105 වන්නේ එබැවිනි.

ලකුණු අනුපිළිවෙලට විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 97 වැනි ස්ථානයේ පසු වූ බව මින් අදහස් කෙරේ. කෙසේ වෙතත්, වෙන් වෙන් රටවල් වශයෙන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී (සාමාන්‍ය අවබෝධය අනුව එවැනි ශ්‍රේණිගත කිරීමක් සිදු කිරීමට පෙළඹෙන ක්‍රමවේදය) ශ්‍රී ලංකාව රටවල් 199 අතරින් 188 වැනි ස්ථානයට පත් විය (HPI දර්ශකයේ දත්ත ඇසුරින් ගණනය කළ පරිදි). සිංගප්පූරුව ලකුණු 193ක් ලබමින් පළමු ස්ථානයට පත් වූ අතර ලකුණු 27ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්තානය අවසන් ස්ථානයට (199 වන ස්ථානය) පත් විය. HPI දර්ශකයේ දත්ත මාසිකව යාවත්කාලීන වන බැවින් නවතම ලකුණු සහ ශ්‍රේණිගත කිරීම ඉහත සිදු කරන ලද විශ්ලේෂණයේ ප්‍රතිඵලවලින් වෙනස් විය හැක.

දෙවැනි කරුණ: 2023 නොවැම්බර් මාසයේදී HPI දර්ශකය ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට ලකුණු 41ක් ලබා දී ඇත. එනම්, පූර්ව අවසරයකින් තොරව ගමනාන්ත 41 ක් වෙත ඇතුළු වීමට හැකි වූ බව මින් අදහස් කෙරේ. ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියෙකු හට පූර්ව සංචරණ අනුමැතියක් නොමැතිව පකිස්තාවය, ඩොමිනිකාව සහ සිංගප්පූරුවට ඇතුළු විය හැකි බව මෙම වෙබ් අඩවියෙහි දක්වා තිබිණි. FactCheck.lk විසින් ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියේ තොරතුරු අධ්‍යයනය කරමින් මෙම කරුණෙහි සත්‍යසත්‍යභාවය විමසා බලන ලදි. පකිස්තානයේ සංචාරය කිරීම සඳහා වීසා බලපත්‍රයක් අවශ්‍ය බවත්, අයදුම්කරු පුද්ගලිකව ඊට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කළ යුතු බවත්, වීසා බලපත්‍ර ක්‍රියාවලියට සති තුන හතරක් ගත විය හැකි බවත් එම වෙබ් අඩවියේ මාර්ගෝපදේශවල සඳහන් විය. එබැවින්, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයකින් පකිස්ථානයට යාම සම්බන්ධයෙන් HPI දර්ශකයේ ඇතුළත් තොරතුරු නිවැරදි නොවන බව FactCheck.lk නිගමනය කළේය.

පා.ම. වික්‍රමරත්න HPI දර්ශකයේ ශ්‍රී ලංකාවට ලකුණු 40 ක් හිමි වූ බව වාර්තා කරන අතර HPI දර්ශකයට අනුව (නොවැම්බර් මාසයේදී එය 41 වූ බව වාර්තා කරයි) පෙර මාසවලදී ඇතැම් විට ශ්‍රී ලංකාවට ලකුණු 40ක් හිමිව තිබූ බව සිතිය හැක. ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව සංචරණ අවසරයකින් තොරව පකිස්තානයට ගමන් කළ හැකි බව ප්‍රකාශ කිරීමේදී ඔහු HPI දර්ශකය නිවැරදිව උපුටා දක්වයි. එහෙත්, HPI දර්ශකය ඒ සම්බන්ධයෙන් නිවැරදි නොවන බව නිරීක්ෂණය වී තිබේ. තව ද, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට HPI දර්ශකයේ හිමි ස්ථානය පා.ම. නිවැරදිව උපුටා දක්වා ඇති නමුත් 97 ලෙස දක්වා ඇති එම ශ්‍රේණිගත කිරීම සාමාන්‍ය අවබෝධයට අනුව සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමෙන් වෙනස් වේ. ශ්‍රීි ලංකාවට හිමි වූ ලකුණු ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ඇගයීමට ලක් කරන ලද බලපත්‍ර 199 ක් අතරින් 188 වැනි ස්ථානයේ පසු වේ. සමස්තයක් ලෙස පා.ම. ඉදිරිපත් කළ කරුණුවල මෙවන් ගැටළු පැන නැඟී ඇත්තේ ඔහු විසින් භාවිතා කරන ලද මූලාශ්‍රවල පැවති අඩුපාඩු හේතුවෙනි.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනු‌වෙන් වර්ගීකරණය කරමු.



මූලාශ්‍රය

වීසා බලපත්‍ර මාර්ගෝපදේශ, ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය, https://www.pakistanhc.lk/?page_id=122 (අවසන් වරට ප්‍රවේශ: 2024 පෙබරවාරි 22).

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය පිළිබඳව. (nd-b). හෙන්ලි සහ හවුල්කරුවන්. https://www.henleyglobal.com/passport-index/about

විදේශ ගමන් බලපත්‍ර දර්ශක පිළිබඳ සංසන්දනය . (nd). හෙන්ලි සහ හවුල්කරුවන්. https://www.henleyglobal.com/passport-index/compare

නිල විදේශ ගමන් බලපත්‍ර දර්ශක ශ්‍රේණිගත කිරීම . (2023) හෙන්ලි සහ හවුල්කරුවන්.

https://cdn.henleyglobal.com/storage/app/media/HPI/Henley%20Passport%20Index%202023%20November%20Global%20Ranking.pdf

නිල විදේශ ගමන් බලපත්‍ර දර්ශක ශ්‍රේණිගත කිරීම . (2024) හෙන්ලි සහ හවුල්කරුවන්.

https://cdn.henleyglobal.com/storage/app/media/HPI/Henley%20Passport%20Index%202024%20February%20Global%20Ranking.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.