ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති PKG හරිස්චන්ද්‍ර

මහ බැංකුවේ සහකාර අධිපති සදොස් වාර්තාවක් හරියට උපුටයි

"

"[…] පසුගිය වසර අවසන් වන විට සංචිත බිලියන 4.4 දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකි වී තිබෙනවා."

2024 ජනවාරි 23, 2024 අංක 01 දරන CBSL මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය | ජනවාරි 23, 2024

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF සංවිධානයේ) ගෙවීම් ශේෂ අත්පොතේ හයවැනි සංස්කරණය (BPM6) සහ IMF සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අංක 23/12යන මූලාශ්‍ර පරිශීලනය කරන ලදි.

2023 දෙසැම්බර් වන විට පැවති නිල සංචිත වත්කම් එ.ජ.ඩොලර් බිලියන 4.3 ක් ලෙස මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශකවල වාර්තා කර ඇති අතර එය සහකාර අධිපති සඳහන් කළ සංචිත ප්‍රමාණය සමඟ සමපාත වේ. කෙසේ වෙතත්, මෙම අගයෙහි නිවැරදිභාවය පිළිබඳව ගැටළුවක් පැන නඟින බව සංචිත වාර්තා කිරීම සඳහා වන නිර්ණායක වඩාත් සමීපව විමසා බැලීමේදී පෙනී යයි.

2021 මාර්තු මාසයේ සිට මහ බැංකුවට චීන මහජන බැංකුව (People’s Bank of China) සමඟ රෙන්මින්බි බිලියන 10 ක (ආසන්න වශයෙන් එ.ජ.ඩොලර් බිලියන 1.4) හුවමාරු පහසුකමක් පැවත ඇත. කෙසේ වෙතත්, 2021 නොවැම්බර් සිට 2022 මාර්තු දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල පාද සටහන් පිරික්සීමේදී පෙනී යන්නේ, ඊට පෙර සංචිත ලෙස නොසැලකූ මෙම පහසුකම සංචිතවලම කොටසක් ලෙස සලකන ලද්දේ 2021 දෙසැම්බර් මාසයේ සිට පමණක් බවයි. සංචිත වාර්තා කිරීමට යොදා ගන්නා නිර්ණායක වෙනස් කර ඇති බවක් මෙලෙස මුදල් හුවමාරුව ප්‍රමාද වී ඇතුළත් කිරීමෙන් හැඟවෙයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට (BPM6 අත්පොත) අනුව, සංචිත වත්කම් මුදල් අධිකාරියේ සෘජු සහ ඵලදායි පාලනය යටතේ පවත්වා ගත යුතු අතර කිසිදු කොන්දේසියකින් තොරව පහසුවෙන් ලබාගත හැකි විය යුතුය. මෙම නිර්ණායකවලින් කිහිපයක් සපුරා නොලීම හේතුවෙන් චීන මහජන මැංකුවේ මුදල් හුවමාරුව මෙම ප්‍රමිතීන්ට අනුව සංචිත වත්කමක් ලෙස සැලකීමට සුදුසුකම් නොලබයි (අතිරේක සටහන 1 බලන්න).

IMF සංවිධානය විසින් මෑතකදී පළ කරන ලද නිලධාරි වාර්තාව මගින් “වාර්තා කරනු ලබන දළ නිල සංචිත” සහ “භාවිතයට ගත හැකි සංචිත” අතර පවතින වෙනස ඉස්මතු කර එම සංචිත දෙවර්ගය වෙන් කොට අර්ථ දක්වයි. එම වාර්තාව ද චීන මහජන බැංකුවේ මුදල් හුවමාරුව භාවිතයට ගත හැකි සංචිතවල කොටසක් ලෙස නොසලකයි. BPM6 අත්පොතේ සංචිත වත්කමක් නිර්වචනය කර ඇති ආකාරය මත පදනම්ව බැලූ විට “භාවිතයට ගත හැකි සංචිත” යනු අර්ථ දැක්වීම අතින් විසංවාදයක් පවතින යෙදුමකි. එලෙසම, රජයේ ඇමතිවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවා සංචිත “බිංදුවට” ආසන්න බව 2022 අප්‍රේල් මාසයේදී  ප්‍රකාශ කර ඇත. චීන මහජන බැංකුවේ හුවමාරුව සංචිතවල කොටසක් ලෙස නොසලකන ජාත්‍යන්තර ප්‍රමිතිය (BPM6) ඔවුන් ද එමගින් තහවුරු කර ඇත.

ඒ අනුව, අදාළ වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුව තක්සේරු කර ඇති මහ බැංකුවේ සංචිත වත්කම් ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.0 ක් පමණි. මෙම අගය සහකාර අධිපති සඳහන් කළ එ.ජ. ඩොලර් බිලියන 4.4 ට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි. ඉහත විග්‍රහය පරිදි මහ බැංකුවේ වාර්තාරණය දෝෂ සහිත වුව ද මෙහිදී සහකාර අධිපති භාවිතා කර ඇත්තේ මහ බැංකුවේ එම නිල වාර්තාකරණයයි.

එබැවින්, මෙම ප්‍රකාශය තරමක් නිවැරදියි යැයි අපි වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන 1:

සංචිත වත්කම් පිළිබඳ IMF සංවිධානයේ අර්ථ දැක්වීම

“සංචිත වත්කම් යනු ගෙවුම් ශේෂ මූල්‍යකරණ අවශ්‍යතා සපුරාලීමට, විනිමය අනුපාතිකයට බලපෑම් කිරීම සඳහා විනිමය වෙළෙඳපොළ තුළ මැදිහත්වීම් සිදු කිරීමට, සහ වෙනත් අදාළ අරමුණු සඳහා (ව්‍යවහාර මුදල් සහ ආර්ථිකය පිළිබඳව විශ්වාසය පවත්වා ගැනීම සහ ඒ මත පදනම්ව විදේශ ණය ලබා ගැනීම ආදිය) පහසුවෙන් ලබා ගත හැකි වූ ද, මුදල් පිළිබඳ බලධාරීන්ගේ පාලනය යටතේ පවතින්නා වූ ද බාහිර වත්කම් වේ.”

මුදල් අධිකාරීන් විසින් “පාලනය කිරීම” සහ ඔවුන්ට “භාවිතයට ගත හැකි වීම” යන අදහස් සංචිත වත්කම් යන සංකල්පයට පාදක වී තිබේ.

සංචිත වත්කමක් ලෙස වර්ගීකරණය වීම සඳහා සුදුසුකම් ලැබීමට එම වත්කම:

  • අනේවාසිකයෙකු මත පවතින හිමිකමක් හෝ සැලකිය යුතු සංශුද්ධතාවයකින් යුත් රන් ගුලි වශයෙන් හෝ පැවතිය යුතුය (BPM6, 6.65 සහ 6.78 ඡේද);
  • මුදල් පිළිබඳ අධිකාරීන්ගේ අයිතිය යටතේ හෝ සෘජු සහ ඵලදායි පාලනය යටතේ හෝ පැවතිය යුතුය (BPM6 6.67 ඡේදය);
  • වඩාත්ම කොන්දේසි විරහිත ආකාරයෙන් (එනම්, ද්‍රවශීලී වීම) පහසුවෙන් ලබා ගත හැකි විය යතුය (BPM6 6.69 ඡේදය);
  • ජාත්‍යන්තර ගනුදෙනු පියවීම සඳහා කිසිදු අවහිරතාවයකින් තොරව භාවිතා කළ හැකි, හුවමාරු කළ හැකි විදේශ මුදල් වර්ග වශයෙන් ගෙවා පැවතිය යුතුය (BPM6 6.72 ඡේදය);
  • (සාමාන්‍යයෙන්) උසස් තත්ත්වයේ පැවතිය යුතුය (BPM6 6.70ඡේදය).


මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව. (2023) සතිපතා දර්ශක. https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2023) ශ්‍රී ලංකාව: විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ වැඩපිළිවෙල යටතේ පළමු සමාලෝචනය (IMF සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අංක 23/12). https://www.imf.org/en/Publications/CR/Issues/2023/12/12/Sri-Lanka-First-Review-Under-the-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility- 542441

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2009). ගෙවීම් ශේෂය සහ ජාත්‍යන්තර ආයෝජන පිළිබඳ අත්පොත (6 වන සංස්කරණය).https://www.imf.org/external/pubs/ft/bop/2007/bopman6.htm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2023) විශේෂ ගැනුම් හිමිකම් අංශයේ IMF සංවිධානයේ සංචිත පිළිබඳව නිතර අසනු ලබන ප්‍රශ්න. https://www.imf.org/external/np/sta/ir/IRProcessWeb/pdf/faqapp.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව. (2023) ශ්‍රී ලංකා මහ බැංකුව චීන මහජන බැංකුව සමඟ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළැඹේ. https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/P.R_20210322_The%20Central%20Bank%20of%20Sri%20Lanka%20enters%20into%20a%20Bilaterpency%20 20Agreement_E.pdf

මල්ලවාරච්චි , බී. (2022, පෙබරවාරි 9). ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වාර්තාගත ලෙස පහළට, දේශපාලනය අර්බුදයකට යයි. AP News1 https://apnews.com/article/covid-business-health-economy-sri-lanka-a742a0ebe7a7e0734960d68e49bed69a

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.