පවිත්‍රාදේවි වන්නිආරච්චි

පා.ම. වන්නිආරච්චි විදුලි ගාස්තු පිළිබඳව අදාළ කර ගත නොහැකි සාර්ථකත්වයක් ගෙන හැර දක්වයි

"

2014 දී... අපි ගොඩක් වැඩ කරලා විදුලි බිල සියයට 25 කින් අඩු කළා.  

ඩේලි නිව්ස් | මාර්තු 14, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය ඇගයීම සඳහා, FactCheck.lk විසින් විදුලි ගාස්තු පිළිබඳ ගනු ලැබූ තීරණවලට අදාළව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පළ කරන ලද ලේඛන හා නිවේදන මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම, CEB) වාර්ෂික වාර්තාවිමසා බලා ඇත. විදුලි ගාස්තු තීරණය කිරීම තරමක වෙනස් ආකාරයකට සිදු කෙරෙනු ලැබේ. එනම්, මාසික පරිභෝජනය පදනම් කරගත් ස්ථර උපයෝගි කර ගනිමින් එය සිදු කරනු ලැබේ. මේ හේතුවෙන්, FactCheck.lk විසින් පවතින විදුලි ගාස්තු ස්ථර හය සඳහාම මෙම ප්‍රකාශය ඇගයීමට ලක් කරන ලදි. 

පා.ම. වන්නිආරච්චි විදුලිබල හා බලශක්ති අමාත්‍යධුරයට පත් වූයේ 2013 වර්ෂයේ වන අතර ඊට ප්‍රථම ඉන්ධන ගැලපුම් අධිභාරයක් විදුලි බිලට එකතු කර තිබිණ. තෙල් මිල බැරලයක ගෝලීය මිල එ.ජ. ඩොලර් 110 ට වඩා ඉහළ යාම මීට හේතු විය. පා.ම. වන්නිආරච්චිගේ ධුර කාලය තුළ අදියර දෙකකින් විදුලි ගාස්තු සංශෝධනය කරන ලදි. ඉන් පළමුවැනි අදියර යටතේදී, 2013 වර්ෂයේදී විදුලි ගාස්තු ඉහළ නංවන ලදි. දෙවැන්න 2014 දී සිදු කරන ලද අතර විදුලි ගාස්තු අඩු කිරීම සහ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කිරීම එහි අරමුණ විය. තෙල් බැරලයක මිල එ.ජ. ඩොලර් 100 ට වඩා අඩු වීම හේතුවෙන් මෙලෙස ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කරන ලදි. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ලේඛන පෙන්වා දෙන අයුරින් මෙම දෙවැනි සංශෝධනය මගින් ගාස්තු ස්ථර හයකින් පහක් සඳහා විදුලි ගාස්තු 24.6% ත් 26.3% ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇත. එමෙන්ම, ඉහළම ස්ථරය සඳහා විදුලි ගාස්තු 10.2% න් අඩු වී ඇත. එහෙත්, මෙම අඩු වීම සිදුව ඇත්තේ පා.ම. වන්නිආරච්චිගේ අමාත්‍ය ධුර කාලය තුළ සිදු කරන ලද පළමු සංශෝධනය මගින් ඉහළ දමන ලද අයකිරීම්වලට සාපේක්ෂව පමණි. ඇත්ත වශයෙන්ම, 2013 සිට ආරම්භ වූ පා.ම.ගේ අමාත්‍ය ධුර කාලය තුළ, ස්ථර හයෙන් හතරක් සඳහා ගාස්තු සහ බිල්පත් සැලකිය යුතු ලෙසින් වැඩි වූ අතර (ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කිරීමෙන් පසුව වුව ), පා.ම. පැවසූ අන්දමින් 25% ක අඩුවීමක් සිදු වූයේ පරිභෝජනය අඩුම ස්ථර දෙක සඳහා පමණි. ගෝලීය තෙල් මිල අඩුවීමට සමගාමීව ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කිරීම මෙම ස්ථර දෙක සඳහා විදුලි බිල අඩු වීමට වැඩි වශයෙන් හේතු විය. 

බැවින්, විදුලි බිල අඩු වීම තම අමාත්‍යධු කාලයේදී ලද සාර්ථකත්වයක් ලෙසට නිවැරදි නොවන අර්ථකථනයක් මෙහිදී පා.ම. වන්නිආරච්චි විසින් ගෙන හැර දක්වා තිබේ. පා.ම. විසින් සඳහන් කරන්නට යෙදුණු මෙම අඩු වීම ප්‍රධාන වශයෙන්ම ඇයගේ ධුර කාලය තුළදීම වැඩි කරන ලද ගාස්තු යළි අඩු කිරීම සහ ගෝලීය තෙල් මිල අඩුවීමත් සමඟ ඉන්ධන අධිභාරය ඉවත් කිරීම යන කරුණු දෙක හේතුවෙන් සිදු විය. කෙසේ වෙතත්, ලංවිම දත්තවලට අනුව, 25% ක අඩුවීමක් අත් වූ ස්ථර දෙකට (වැඩි වශයෙන්ම ඉන්ධන අධිභාරය ඉවත් කිරීම හේතුවෙන්), රටේ ගෘහස් පාරිභෝගිකයින්ගෙන් 58.7% ක් ඇතුත් විය. 

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ කර ගත නොහැකි සාර්ථකත්වයක් ගෙන හැර දක්වන බවක් පා.ම. විසින් සිදු කරන ලද ප්‍රකාශය තුළින් දිස් වුණ ද විදුලි බිල්පත් ඒකකවලින් බහුතරයක් ප්‍රකාශයේ සඳහන් පරිදි 25% න් අඩු වී තිබිණ. එබැවින්, අපි පා.ම. වන්නිආරච්චි‌ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.   

ප්‍රදර්ශිතය 1: විදුලි ගාස්තු සංශෝධන 

මූලාශ්‍රය: ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තා



මූලාශ්‍රය

ඛනිජ තෙල් මිල, Our World in Data, ප්‍රවේශය: https://ourworldindata.org/grapher/crude-oil-prices?time=2010..latest, [අවසාන ප්‍රවේශය 18 මැයි 2022]

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විදුලි ගාස්තු පිළිබඳ තීරණය – 2011

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විදුලි ගාස්තු පිළිබඳ තීරණය – 2013

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ගෘහස්ථ පරිභෝජනය සඳහා ඇමුණුම, විදුලි ගාස්තු – 2014

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මහජන නිවේදනය – 2012

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2014

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.