පා.ම. අනුර කුමාර දිසානායක විදෙස්ගත ශ්‍රමිකයින්‌ගේ ප්‍රේෂණ පිළිබඳ දත්ත නිවැරදිව ගෙන හැර දක්වයි.

"

2021 මුල් මාස පහේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආදායම වැඩි වුණා. ඩොලර් මිලියන 450 න් වැඩි වුණා. ඒත් හයවැනි මාසයේ ඉඳන් කඩා ‌ගෙන වැටෙන්න පටන් ගත්තා...එහෙම ඇවිත් මේ ජනවාරි මාසයේදී 62% න් [ප්‍රේෂණ] අඩු වුණා.

ලංකාදීප | මාර්තු 7, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

(අ) 2020 ට සාපේක්ෂව 2021 මුල් මාසවල දී විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති බවත්, (ආ) 2021 ජූනි මස සිට ප්‍රේෂණ අඩු වූ බවත්, (ඇ) 2021 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ හා සැසඳීමේදී 2022 ජනවාරි මාසයේ දී 62% න්  අඩු වී ඇති බවත් පා.ම. අනුර කුමාර දිසානායක සිය ප්‍රකාශය තුළින් සඳහන් කරන්නට යෙදිණ 

පා.ම. දිසානායකගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන සහ ආර්ථික දර්ශක මගින් ඉදිරිපත් කරන ලද දත්ත විමසා බලා ඇත. මෙම කරුණු පිරික්සීම සිදු කරන ලද අවස්ථාවේදී 2021 දෙසැම්බර් සහ 2022 ජනවාරි යන මාසවල දත්ත සඳහා ඉහත මූලාශ්‍රවල පැවතියේ තාවකාලික අගයන් පමණි. 

ඉහත පළමු කරුණ සැලකීමේදී, වාර්තා වූ ප්‍රේෂණ, 2020 ට සාපේක්ෂව 2021 පළමු මාස පහ තුළ එ.ජ. ඩොලර් මිලියන 439න් ඉහළ ගොස් තිබූ බව ප්‍රදර්ශිත අංක 1 න් පෙනී යයි. මෙය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දක්වන ලද සංඛ්‍යාවට බොහෝ සෙයින් ආසන්න අගයකි.  

ඉහත දෙවැනි කරුණ ගත් විට, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ප්‍රේෂණවල සංසන්දනය ප්‍රදර්ශිත අංක 1 න් දැක්වේ: ඒ අනුව, පා.ම.දිසානායක ප්‍රකාශ කළ අයුරින් මුල් වරට ප්‍රේෂණවල අඩු වීමක් වාර්තා වී ඇත්තේ 2021 ජූනි මාසයේදී (-16.4%) වන අතර, එතැන් සිට ගත වූ සෑම මාසයකදීම ප්‍රේෂණ සඳහා 2020 ට සාපේක්ෂව අඩු අගයන් වාර්තා වී ඇත. 

ප්‍රකාශයේ සඳහන් තෙවැනි කරුණ සැලකීමේදී, 2022 ජනවාරි මාසයේ ප්‍රේෂණ එ.ජ.ඩොලර් මිලියන 259.20ක් ලෙස සටහන් වූ අතර එය 2021 ජනවාරි මාසයේදී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 675.34 අගයට සාපේක්ෂව 61.6%ක අඩුවීමකි. 

මේ අනුව, ප්‍රේෂණ වැඩිවීම හා අඩුවීමට අදාළ සියලු දත්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයේ සඳහන් සංඛ්‍යාවන්ට අනුකූල බව ඉහත විශ්ලේෂණයෙන් පෙනී යයි. එබැවින්, අපි පා.ම. දිසානායකගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.  

 

ප්‍රදර්ශිතය 1: 2020 සිට 2021 දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවල සංසන්දනය (එ.ජ. ඩොලර් මිලියන) 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන



මූලාශ්‍රය

විදේශ‌ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ (2009 ජනවාරි සිට), ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector [අවසන් වරට ප්‍රවේශ2022 මාර්තු 25] 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික ආර්ථික දර්ශක, 2022 ජනවාරිප්‍රවේශය; https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/mei/MEI_202201_e.pd f [අවසන් වරට ප්‍රවේශය 2022 මාර්තු 25] 

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක, 2022 මාර්තු 18, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20220318_e.pdf [අවසන් වරට ප්‍රවේශය 2022 මාර්තු 25]