ගෝඨාභය රාජපක්ෂ

ජනාධිපති රාජපක්ෂ ණය බර පිළිබඳව නොමඟ යවනසුළු සංඛ්‍යා උපුටා දක්වයි

"

මීට පෙර පැවති රජයන් , විවිධ හේතූන් නිසා ගත් ණය අපිට ගෙවන්න තියෙනවා හැම මාසයකම. “ඉන්ටර්නැෂනල් සව්රින් බොන්ඩ්” [ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර]: මේවා 2015 වෙන කොටත් අරගෙන තිබුණේ බිලියන 5 යි, පසුගිය රජය කාලයේ බිලියන 15 ක ඒ සුරැකුම්පත් ගත්තා.

Headlinenews.lk | පෙබරවාරි 26, 2022

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පසුගිය රජයන් විසින් විවිධ හේතූන් මත ලබා ගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීමේ බර වත්මන් රජය වෙත පැවරී ඇති බව ජනාධිපතිවරයා සිය ප්‍රකාශය තුළින් සඳහන් කරයි. ශ්‍රී ලංකාව 2015 ට පෙර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්ක (International Sovereign Bonds – ISB) යටතේ ලබා ගෙන තිබූ ණය මුදල්වල වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 5 ක් පමණක් බවත්, ඊට සාපේක්ෂව, 2015-2019 කාලය තුළ පැවති රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය මුදල්වල වටිනාකම එ.ජ. බිලියන 15 දක්වා වැඩි වී තිබූ බවත් ජනාධිපතිවරයා මීට උදාහරණයක් ලෙස ගෙන දක්වයි.  

මෙම ප්‍රකාශයේ සඳහන් කරුණුවල වැරදි නිවැරදිභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් 2014 අග සිට 2019 අග දක්වා කාලයට අදාළව විදේශීය සහ දේශීය ණය සඳහා මහ බැංකු වාර්ෂික වාර්තාවෙහි දක්වා ඇති සංඛ්‍යාවන් සංසන්දනය කරන ලදි. 

අංක 1 ප්‍රදර්ශිතය මගින් පෙන්වා දී ඇති ආකාරයට 2014 අග සිට 2019 අග දක්වා කාලය තුළ රටේ මුළු ණය ප්‍රමාණය 42.8% කින් වැඩි වී තිබේ. මෙයින්, රජය සතු ව්‍යවසායන්ගේ (SOE) ස්වෛරී සහතික කරන ලද ණය මුදල් ද ඇතුළුව මුළු විදේශ ණය ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 10 , නැතිනම් 35%, (එ.ජ.ඩොලර් බිලියන 28.5 සිට එ.ජ.ඩොලර් බිලියන 38.6 දක්වා) වැඩි වීමක් වාර්තා කර තිබේ. එලෙස වැඩි වූ ණය ප්‍රමාණයෙන් වැඩි කොටසක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගන්නා ලද ණය මුදල් වූ අතර මෙම කාලය තුළ එලෙස ලබා ගත් ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 8.8 කින් (එ.ජ.ඩොලර් 5.3 සිට එ.ජ.ඩොලර් බිලියන 14.1 දක්වා – 167% ක වර්ධනයක්) වර්ධනය විය. 

2015 – 2019 කාලය අතරතුර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 10 කින් වැඩි වූ බව (එ.ජ.ඩොලර් බිලියන 5 සිට 15 දක්වා – 200% වැඩි වීමක්) ජනාධිපතිවරයා විසින් දක්වා ඇති අතර මෙම වැඩි වීම ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවෙහි ඇතුළත් අගයට වඩා සැලකිය යුතු ලෙසින් ඉහළ අගයකි. කෙසේ වෙතත්, ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම සඳහා එ.ජ. ඩොලර් බිලියන 15.2 ක තාවකාලික අගයක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2019 වාර්ෂික වාර්තාව තුළ දක්වා තිබිණි. එහෙයින්, තම ප්‍රකාශය සිදු කිරීමේදී ජනාධිපතිවරයා විසින් ඇතැම් විට එම අතීත, තාවකාලික සංඛ්‍යා යොදා ගන්නා ලදැයි සිතිය හැක. 

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් විදේශ ණය ප්‍රමාණයෙහි සිදු වූ වැඩි වීම පෙන්වා දීමේදී උදාහරණයක් ලෙස ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය ප්‍රමාණයෙහි සිදු වූ වැඩි වීම උපුටා දැක්වීම නොමඟ යවනසුළු වේ. විදෙස් ණය සමස්තයක් ලෙස 35% කින් පමණක් වැඩි වූ අතර උදාහරණයේ දක්වා ඇති පරිදි 200% ක වර්ධනයක් එ් වෙනුවෙන් වාර්තා නොවිණ. එම කාලය තුළ විදේශ ණය 167% ක වර්ධනයක් වාර්තා කළ අතර, ජනාධිපතිවරයා විසින් දක්වන ලද උදාහරණය තුළ මෙම අගය සැලකිය යුතු ලෙසින් ඉහළ නංවා තිබේ. කෙසේ වුවත්, උදාහරණයේ සඳහන් සංඛ්‍යා මහ බැංකුව විසින් වාර්තා කරන්නට යෙදුණු අතීත, තාවකාලික සංඛ්‍යාවන්ට ආසන්න වශයෙන් සමාන වන බැවින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරන්නේමු. 

සැ.යු: මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා වෙරිටේ රිසර්ච් විසින් පළ කරන ලද Demystifying increase in Sri Lanka’s debt (ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ඩෙට්) නම් විදසුන කියවන්න. 2015 – 2019 කාලය අතරතුර ශ්‍රි ලංකාවේ ණය සඳහා වාර්තා වූ සමස්ත වර්ධනයෙන් 89.8% ක් පෙර පැවති රජයන් විසින් ලබා ගන්නා ලද ණය මුදල් සඳහා පොලී ගෙවීමට සිදු වීම හේතුවෙන් සිදු වූ වර්ධනයක් බවට එම විදසුනින් පෙන්වා දේ. 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.    

 

ප්‍රදර්ශිතය අංක 1: 2014 සහ 2019 දී රජයේ හිඟ ණය 

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා 

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, 2014 – 2019 දක්වා වාර්ෂික වාර්තා, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports   

වෙරිටේ රිසර්ච්, Demystifying increase in Sri Lanka’s debt (ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ඩෙට්), ප්‍රවේශය: https://www.veriteresearch.org/wp-content/uploads/2022/03/VR_ENG_Insights_Feb2022_Demystifying-the-increase-in-Sri-Lankas-debt.pdf 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.