නාලක කෝට්ටේගොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ: ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය අතින් වැරදි තැනක ශ්‍රේණිගත කරයි

"

"2020 වසරේදී ශ්‍රී ලංකාව පොහොර මෙට්‍රික් ටොන් 574,000 ක් ආනයනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම රසායනික පොහොර භාවිතා කරන්නා බවට පත්ව සිටිනවා. අපි හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝග්‍රෑම් 284 ක් භාවිතා කරනවා"

ඩේලි නිව්ස් | මැයි 5, 2021

false

වැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ සිය ප්‍රකාශය තුළ කරුණු දෙකක් සම්බන්ධයෙන් සඳහන් කරයි. එනම්, (1) ශ්‍රී ලංකාව 2020 වසරේදී පොහොර මෙට්‍රික් ටොන් 574,000 ක් ආනයනය කර ඇති බවත්, (2) හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝග්‍රෑම් 284 ක් භාවිතා කරමින් ශ්‍රී ලංකාව දකුණු  ආසියාවේ ඉහළම රසායනික පොහොර භාවිත කරන්නා බවට පත්ව සිටින බවත් යනු එම කරුණු දෙක වේ. 

මෙම ප්‍රකාශයන්ගේ වැරදි නිවැරදි බව ඇගැයුම් කරනු පිණිස, FactCheck.lk මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2020 වසරේ වාර්ෂික වාර්තාව පරිශීලනය කොට ඇති අතර, ජාතික පොහොර ලේකම් කාර්යාලය ඔස්සේ වෙනත් විකල්ප දත්ත මූලාශ්‍ර ලබාගත හැකිදැයි සොයා බලා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තාවකාලිකව ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට, 2020 වසරේදී ශ්‍රී ලංකාව පොහොර මෙට්‍රික් ටොන් 952,000 ක් ආනයනය කර ඇත (නිදර්ශකය 1 බලන්න). මෙම ප්‍රමාණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සඳහන් කළ මෙට්‍රික් ටොන් 574,000 ක ප්‍රමාණයට වඩා සැලකිය යුතු තරමින් ඉහළ අගයකි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝට්ටේගොඩගේ දෙවන ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා,  FactCheck.lk මගින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක බැංකුව (WBඔස්සේ රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ලබාගත් දත්ත පරිශීලනයට ගෙන ඇත. වගාවට අදාළ පොහොර භාවිතය ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් නිර්වචනය කෙරන්නේ, “වගා කළ හැකි භූමි ඒකකයක් සඳහා භාවිතා කෙරෙන ශාක පෝෂක ප්‍රමාණය” යනුවෙනි. එහිදී “පොහොර නිෂ්පාදන යන්නෙන් නයිට්‍රජනීය, යවකාර ලුණු නොහොත් පොටෑෂ් සහිත සහ පොස්පේට් (පාෂාණ පොස්පේටද ඇතුළත්ව) පොහොර වර්ග ආවරණය වේ”. එසේම, වගා කළ හැකි බිම් යන්නෙන් “(වගාවන් මාරු කිරීම නිසා අත්හැර දැමූ ඉඩම් අත් හැර) තාවකාලික වගාවන් පවතින ඉඩම් (එකම වසරක වෙනස් භෝග දෙකක් වගා කොට ඇති ඉඩම් එක් වරක් පමණක් ගණන් කර ඇත), තණකොළ කැපීම සඳහා හෝ ගවයින් වැනි සතුන්ගේ පරි‌භෝජනය  සඳහා හෝ වන තාවකාලික තණබිම්, වෙළඳපොළ ගෙවතු බිම් හෝ ගෙවතු උද්‍යාන, සහ තාවකාලිකව පුරන් වූ බිම්” ද හඳුන්වා දී ඇත.  

පොහොර භාවිතය සම්බන්ධයෙන් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සතුව ඇති වඩාත්ම යාවත්කාලීන දත්ත ඇත්තේ 2018 වසර සඳහා වේ. 2016, 2017 සහ 2018 වසර සඳහා වන සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ භාවිතා වන රසායනික පොහොර ප්‍රමාණය, මන්ත්‍රීවරයා සඳහන් කළ හෙක්ටයාරයකට කිලෝ 284 ක ප්‍රමාණයෙන් භාගයකටත් වඩා අඩු අගයක් ගන්නා බව පෙනී යයි. එසේම බංග්ලාදේශය, ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් ශ්‍රී ලංකාවට වඩා වැඩි රසායනික පොහොර ප්‍රමාණයක් භාවිතා කරන බවට වාර්තා වී ඇත (නිදර්ශකය 2 බලන්න). ඒ අනුව ශ්‍රී ලංකාව රසායනික පොහොර  පරිභෝජනය අතින් දකුණු ආසියාවේ ඉහළින්ම සිටින රට නොව එම ලැයිස්තුවේ සිවුවෙනි තැනට සිටින රට ලෙසින් හැඳින්විය හැක. 

මේ අනුව බලන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෝට්ටේගොඩගේ ප්‍රකාශයේ සඳහන් වන කරුණුවල සැලකිය යුතු දෝෂයන් තුනක් පවතී. ඔහු විසින් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන පොහොර ප්‍රමාණය අඩු කොට දක්වන අතර, ශ්‍රී ලංකාවේ පොහොර භාවිතා වන ප්‍රමාණයත්, ශ්‍රී ලංකාව පොහොර භාවිතා කිරීම විෂයෙහි දකුණු ආසියාතික රටවල් අතර දරන ශ්‍රේණියත් වැඩි කොට දක්වයි.ඒ අනුව, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි සඳහන් කිරීමට අපට සිදුවේ. 

 

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 



මූලාශ්‍රය

ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය, ‘පොහොර පරිභෝජනය (වගා කළ හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්)’, ප්‍රවේශයhttps://datacatalog.worldbank.org/search?search_api_views_fulltext_op=AND&query=AG.CON.FERT.ZS&sort_by=search_api_relevance&sort_by=search_api_relevance [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 09] 

ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය, ‘දත්ත බැංකුව | ලෝක සංවර්ධන දර්ශක’, ප්‍රවේශයhttps://databank.worldbank.org/reports.aspx?source=2&series=AG.CON.FERT.ZS [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 09] 

ශ්‍රී ලංකා මහ බැංකුවවාර්ෂික වාර්තාව (2020), ප්‍රවේශයhttps://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 09] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.