එස්.එම්.මරික්කාර්

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙලේ ශක්තිමත්භාවය සසඳා බැලීමේදී පා.ම.මරික්කාර්ට ඇෆ්ගනිස්ථානය අමතක වෙයි

"

"අද මේ රටේ ජනතාවගෙන් මිලියන දෙකකටවත් එන්නත ගහලා නැහැ. අපේ කලාපයේ ඉතාම අඩුවෙන් එන්නත් කරලා තියෙන්නේ ලංකාව"

අරුණ | මැයි 26, 2021

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සොයාබැලීම උදෙසා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම මාධ්‍ය ප්‍රකාශන සහ, කොවිඩ්-19 එන්නත්කරණය පිළිබඳ Our World in Data වෙබ් අඩවියේ නවතම සංඛ්‍යාලේඛන පරිශීලනයට ගෙන ඇත. 

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන පළමු කරුණ පිළිබඳව සොයා බැලීමේදී, ඔහු විසින් සසඳා ඇත්තේ අඩු තරමින් කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව යයි FactCheck.lk උපකල්පනය කර ඇත. එසේම එම ප්‍රකාශයේ දෙවන කරුණෙහිදීද මන්ත්‍රීවරයා විසින් ඊට මිනුම් දණ්ඩ ලෙස යොදාගත් කලාපය කුමක්දැයි පැහැදිලිව නොදක්වයි. එනිසා, එම දෙවන කරුණ පිළිබඳව සොයාබැලීමේදී මිනුම් දණ්ඩ ලෙස යොදාගත් කලාපය දකුණු ආසියානු කලාපය යැයි FactCheck.lk විසින් උපකල්පනය කර ඇත. ශ්‍රී ලංකාවද ඇතුළත් වන භූගෝලීය වශයෙන් අර්ථ දක්වා ඇති කුඩාම කලාපය වන්නේ දකුණු ආසියානු කලාපය වීම ඊට හේතුවයි (ඊට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය ඇතුළත් වේ). 

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් පළමු කරුණ ගත් විට, එම ප්‍රකාශය සිදුකිරීමට පෙර වසංගත රෝග විද්‍යා අංශයෙන් පළ කෙරුණු වාර්තාවන්හි දත්තවලට අනුව, ශ්‍රී  ලංකාවේ  පුද්ගලයින් 1,456,485ක් (නැතිනම් සෑම සිය දෙනෙකුගෙන්ම පුද්ගලයින් 6.7 ක්) කොවිඩ්-19 එන්නතෙන් අඩු තරමින් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත (නිදර්ශකය 2 බලන්න). එනිසා, මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරන මොහොත වන විට ශ්‍රී ලංකාවේ එන්නත් ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 2 කටත් අඩු බවට ඔහු කරන සඳහන නිවැරදි වේ. 

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන දෙවන කරුණ, (අ) එන්නත් ලබාගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන සහ, (ආ) ජනගහනයෙන්  කර ඇති ප්‍රතිශතය (නැතිනම් සෑම පුද්ගලයින් සියයකට කී දෙනෙකුද) යන කරුණු මත පදනම්ව ඇගැයුම් කළ හැක. Our World in Data වෙබ් අඩවියේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත් ලබාගෙන ඇති පුද්ගලයින් ගණන භූතානයට (482,578), ඇෆ්ගනිස්ථානයට (476,367) සහ මාලදිවයිනට(307,210) වඩා ඉහළ අගයක් ගනී (Our World in Data වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ එන්නත් ලබාගෙන ඇති සංඛ්‍යාව 1,439,501 ට වඩා මඳක් අඩු අගයක් ගෙන ඇත). ජනගහනයට සාපේක්ෂව කෙතරම් පුද්ගලයින් සංඛ්‍යාවකට කොවිඩ්-19 එන්නත් ලබාදී ඇතිද යන්න සලකා බැලූ විට, බංග්ලාදේශයට (3.54), පකිස්තානයට (1.88) සහ ඇෆ්ගනිස්ථානයට (1.22) වඩා ඉහළින් ශ්‍රී ලංකාව (6.72) සිටී (නිදර්ශකය 1 බලන්න).  මෙම  නිර්ණායක දෙකම අනුව සලකා බැලූ විට ශ්‍රී ලංකාව අඩුම සංඛ්‍යාවක් එන්නත කර ඇති රට බවට පත් වන්නේ නැත. තවද, මෙම නිර්ණායක දෙකෙහිදීම ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට වඩා ඉහළින් ශ්‍රේණිගත වී සිටී. 

මෙම ප්‍රකාශය සිදු කරන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා නිවැරදි වේ. කෙසේ නමුත්, කලාපයේ කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව පහළම මට්ටමක සිටින බවට ඔහු සිදුකරන ප්‍රකාශය නිවැරදි නොවේ. FactCheck.lk මගින් මෙහිදී සලකා බලා ඇති නිර්ණායක දෙකෙහිදීම ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට පහළින් සිටී. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ධ වශයෙන් නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු. 

 

** FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකිවඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක්  සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

 



මූලාශ්‍රය

වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොරෝනා එන්නත්කරණයකොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ ප්‍රගති වාර්තාවප්‍රවේශයhttp://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-06_02.pdf [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 03] 

 

අවර් වර්ල්ඩ් ඉන් ඩේටාසංඛ්‍යාලේඛන හා පර්යේෂණකොරෝනා වෛරස්එන්නත්කරණයන්අවර් වර්ල්ඩ් ඉන් ඩේටා කොවිඩ්-19 සම්පූර්ණ දත්ත එකතුව (The complete Our World in Data COVID-19 dataset), ප්‍රවේශයhttps://github.com/owid/covid-19-data/tree/master/public/data [අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 03] 

 

වර්ල්ඩොමීටර්ස්ලෝක ජනගහනයරට අනුව ජනගහනයප්‍රවේශය https://www.worldometers.info/world-population/population-by-country/ (අවසන් වරට ප්‍රවේශය: 2021 ජූනි 06) 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.